2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

ක්‍රිකට් ක්‍රීඩකයන්ට මඩ ගහන ලොක්කෝ

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 151

ක‍්‍රිකට් ලොක්කන්ගේ ඇඟිලි ගැසීම් නිසා ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිල අගාධයට වැටී ඇති බවට චෝදනා එල්ලවීමත් සමඟ ඇතැම් ක‍්‍රිකට් ලොක්කන් සහ ක‍්‍රීඩා බලධාරීන් ක‍්‍රීඩකයන් මුදලට තරග පාවාදෙන බවට මඩ ගැසීමේ ඉතාමත් පහත් ව්‍යාපෘතියක් දියත්කර තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරීන් කණ්ඩායම තේරීම්වලට බලපෑම් කරන බවට චෝදනා එල්ල වෙද්දී ඇතැම් නිලධාරීන් පැවසුවේ කණ්ඩායමේ විෂබීජ දෙකක් සිටින අතර ඒ දෙන්නා ගැන අපි බලගන්නම් යනුවෙනි. 

මෙවර හිටපු නායකයකු, ප‍්‍රවේගකාරී ආරම්භක පිතිකරුවකු සහ පිට දඟපන්දු යවන්නකු පසුගිය ඕස්ට්‍රේලියානු සංචාරයේදී තරග පවා දුන් බවට ඇතැම් වෙබ් අඩවි හරහා මුදලට තරග පාවා දුන් බවට චෝදනා එල්ල කර තිබුණි. එහිදී එක් ක‍්‍රීඩකයකු ජපානයේදී ඊට අදාළ මුදල් ලබාගත් බවට චෝදනා කර තිබූ අතර ඔහු එම චෝදනාව ප‍්‍රතික්ෂේප කර තිබුණි. 

ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විද්‍යුත් මාධ්‍යකට පැමිණ ක‍්‍රීඩකයන් පොඩි බබ්බු දැයි ප‍්‍රශ්න කළේය. එහිදී ක‍්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අදාළව ඔට්ටු අල්ලන බව තමන්ට දැනගන්නට ලැබී ඇති බවත් එවැනි තැන් තිබේ නම් තමන්ට දැනුම් දෙන ලෙසත්ය. 

එම ප‍්‍රකාශය ඉතාමත් බරපතළ තත්ත්වයකි. වගකිවයුතු ඇමතිවරයකු ලෙස ක‍්‍රීඩා අමාත්‍යවරයා එවැනි ප‍්‍රාථමික දෙයක් පවා නොදන්නේ නම් ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩාවට දෙවියන්ගේම පිහිටයි කිව හැකිය. නීතිඥයකු ද වන ක‍්‍රීඩා අමාත්‍යවරයා එම රූපවාහිනී සාකච්ඡාවේදී පැවසුවේ ශ්‍රී ලංකාවේ නීති අනුව ක‍්‍රිකට්වලට ඔට්ටු ඇල්ලීම ද වරදක් නොවන බවත් ලෝකය බොහෝ තැන්වල එය සිදුවන බවත්ය. 

එහිදී ක‍්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී පැවසුවේ ඊට පෙර මුදලට තරග පාවාදීමේ සිද්ධීන්වල වාර්තා තමන් සතුව තිබෙන බවයි. එහිදී ක‍්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ චාමර කපුගෙදර කාසියේ වාසිය ලබා කණ්ඩායම් තීරණයට පටහැනිව පන්දුවට පහරදීමට තීරණය කිරීම පිළිබඳව මෙන්ම සිම්බාබ්වේ පිලට එරෙහිව තරගාවලියේදී ලසිත් මාලිංගට පන්දු යැවීමට අවස්ථාව නොදීම පිළිබඳව ද සඳහන් කළේය. 

මෙවැනි ගැලරියට ක්‍රීඩා කරන ක‍්‍රීඩා ඇමතිවරයා තවදුරටත් ඇමති ධුරයේ රැදී සිටියහොත් ‘ක‍්‍රිකට්වලට දෙයියන්ගේම පිහිටයි’ යැයි සමහරු කියති.   

මීට මාසයකට පෙරද තරග පරාජයට පත්වෙත්ම ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගේ මැදිහත්වීමෙන් ක‍්‍රීඩකයන්ගේ කළමනාකරුවන්ගේ ලැයිස්තුවක් කරළියට පැමිණි අතර එහි එක ක‍්‍රීඩකයකුගේ කළමනාකරුගේ නම පමණක් ‘ටිපෙට්ස්’ යොදා මකා තිබුණි. එංගලන්තයේ පදිංචි යැයි කියන ‘ටිපෙට්ස්’ යොදා මකා දැමූ කළමනාකරු ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන තනතුරක් දරණ නිලධාරියකුගේ සමීපතමයෙකු යැයි පැවසේ.

ක‍්‍රිකට් ලොක්කන් තම ගැලවිජ්ජාවට ක‍්‍රීඩකයන්ට චෝදනා කිරීම නතර නොකළහොත් ශ්‍රී ලංකා පිල තවදුරටත් අගාධයට වැවීම වැළැක්විය නොහැක. මුදලට තරග පාවාදීම පිළිබඳව පරීක්‍ෂණ කරන්නේ නම් පළමුවෙන්ම නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ කළ යුතුය. ඉන්පසුව ක‍්‍රීඩකයන් දෙසට හැරෙන්නේ නම් වඩාත් හොඳය.  

I විශේෂ ලියුම්කරුවකු විසිනි

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00