2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා

(යොවුන් ආසියානු කුසලානෙන් ගජ මිතුරන්ට ඩොලර් මල්ලක්) ‛බැගේජ් බෝයි’ තනතුරුත් හිතවතුන්ට

 2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 07:56 133

ශ‍්‍රී ලංකාවේදී පසුගිය සිකුරාදා අවසන් වූ ආසියානු කුසලාන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට පවුල් පිටින් ගොඩගිය තරගාවලියක් බවට පත්වූ බව වාර්තා වේ.

ආසියානු ක‍්‍රිකට් සංගමය සංවිධානය කළ මෙම තරගාවලියේදී ඩොලර්වලින් ගෙවීම් කරන තනතුරුවට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඇතැම් නිලධාරීන්ගේ සොහොයුරන්ට, ඇතැමුන්ගේ නිවසේ සේවය කරන පුද්ගලයන්ට සහ ක‍්‍රිකට් නිලවරණයේදී සහය දැක්වූ පුද්ගලයන්ට සල්ලි මල්ලක් සොයා ගැනීමට අවස්ථාවක් බවට පත්කර තිබුණි. 
මෙහි ඉතාමත්ම කනගාටුදායක සිද්ධිය බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරීන් කිසිදු හිරිකිතයකින් තොරව එම තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් අටේ බඩු බාහිරාදිය බාර සේවක ‘බැගේජ් බෝයි’ තනතුර සඳහා ද ඔවුන්ගේ හිතවතුන් යොදවා තිබීමය. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වසර ගණනාවක සිට ‘බැගේජ් බෝයි’ සේවයේ කටයුතු කරන පුද්ගලයන්ට මේ හේතුවෙන් දැඩි අසාධාරණයක් සිදුවී තිබේ. ඔවුන්ගෙන් වැඩි පිරිසක් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ බඩු බාහිරාදිය තමන්ගේ මෙන් දැඩි ලැබැඳියාවකින් සේවය කරන පුද්ගලයෝ වෙති.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සේවකයන් අතරින් අඩුම ආර්ථික මට්ටමක සිටින්නන් ලෙස ‘බැගේජ් බෝයි’ සේවය ලබාදෙන සේවකයන් හැඳින්විය හැකිය.  

කළුතර ප‍්‍රදේශයේ ප‍්‍රධාන ක‍්‍රීඩා සමාජයක ප‍්‍රධාන තනතුරක් දරන්නේ යැයි කියන පුද්ගලයකු ආසියානු යොවුන් ක‍්‍රිකට් තරගාවලියේ වැඩිම ඩොලර් ප‍්‍රමාණයක් හිමිවන තනතුරක් ලබාගෙන ඇති අතර ඔහුගේ සොයුරකු විදේශිය කණ්ඩායමක ‘බැගේජ් බෝයි’ සේවයට යොදවා තිබේ. 

ක‍්‍රිකට් ව්‍යාපාරිකයකුයැයි කියන මෙම නිලධාරියා ක‍්‍රිකට් පරිපාලනයට එන  ඕනෑම ප‍්‍රධානියකු අන්දවාගෙන ශ්‍රී ලංකාවේ සංචාරය කරන විදේශ කණ්ඩායම්වල දේශිය සම්බන්ධීකාරක තනතුර ලබා ගැනීමට උපන් හපන්කම් දක්වන බව තතු දන්නෝ පවසති. මෙම තනතුර සඳහා ක‍්‍රිකට් ආයතනය ඩොලර්වලින් දැවැන්ත ගෙවීමක් කරයි. 
මෙම නිලධාරියාගේ තවත් සොහොයුරෙක් ලකුණු සටහන්කරුවකු ලෙස කටයුතු කරන බවත් ඔහුට කොළඹින් පිටත තරග ලබාදෙන ලෙස දැනුම්දී ඇති බව ද දැනගන්නට තිබේ. ඒ අනුව සහෝදරයාට ප‍්‍රවාහන වියදමක් ලබා ගැනීමටද අදාළ නිලධාරියා කටයුතු කර තිබේ. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විදේශ සම්බන්ධීකරණ තනතුරක් දරන්නේ යැයි කියන නිලධාරියකු ඔහුගේ නිවසේ සේවය කරන පුද්ගලයකු ද තරගාවලියේ සේවයට යොදවා තිබූ බව වාර්තා වේ. එම පත්වීම මගින් ඔහු මෙම මස නිවසේ සේවකයාගේ වැටුප යොවුන් ක‍්‍රිකට් තරගාවලියෙන් පියවාගත් බව ක‍්‍රිකට් ආයතනයේ කථාබහට ලක්ව තිබේ. 
ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනයේ තවත් නමගිය ටේලර්වරයකු වන යැයි කියන පානදුර ප‍්‍රදේශයට සම්බන්ධ පුද්ගලයකු ද යොවුන් තරගාවලියෙන් සරුසාරව නව වසරට මුහුණ දීමට සූදානම් වන බව වාර්තා වේ. ක‍්‍රිකට් නිලවරණයේදී වවුල් චරිතයට පණදෙන පානදුරේ නිලධාරියාට කණ්ඩායම් බාර තනතුරක් ලැබී තිබූ බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරීන් බොහෝ දෙනකු මේ ආකාරයට විවිධ තනතුරුවලට ඔවුන්ගේ හිතවතුන් පත්කරගෙන ඇති බව ආසියානු යොවුන් තරගාවලියේදී නිකුත් කළ අත්පොත පරිශිලනයෙන් අවබෝධ කරගත හැකි බව බොහෝ දෙනෙක් පවසති.  

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් පිලට පුහුණුකරුවන් වැඩි වීමෙන් නේපාලය වැනි පහළ මට්ටමේ සිටින කණ්ඩායමක් හමුවේ පරාජයට පත්වීමේ අවදානමකට ලක්වූ බව ද දැනගන්නට තිබේ. එම තරගයේදී ශ්‍රී ලංකා පිල ලකුණක තියුණු ජයක් ලැබීය. 

මෙහිදී ශ්‍රී ලංකා යොවුන් පිලට උපදෙස් දීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පුහුණුකරු ධූරයකට මෑතකදී පත්වූ හිටපු නායකයකු, කණ්ඩායමේ නිලධාරියකු ලෙස කටයුතු කළ ක‍්‍රිකට් ක‍්‍රීඩා කර නැතැයි කියන නිලධාරියකු, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ තවත් නිලධාරියකු සහ යොවුන් පිලේ නිල පුහුණුකරු රෝයි ඩයස් යන අය ඉදිරිපත් වීමෙන් ක්‍රීඩකයන් ව්‍යාකූල තත්ත්වයකට පත්වූ බව වාර්තා වේ. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට්වලට සම්බන්ධ තනතුරු ලබාදීම සඳහා නියමිත ක‍්‍රමවේදයක් සකස් කිරීමේ කාලය මේ වන විට පැමිණ තිබෙන නමුත් එවැනි දෙයක් කිරීමට කිසිදු බලධාරියකුට අවශ්‍යතාවක් නොමැති බව නම් පැහැදිළිය.   

♦ වරකාගොඩ ගමගේ