2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

ක්‍රිකට් සභාපති පදවියෙන් තිලංගට යන්න වෙයිද?

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 212

අධිකරණයෙන් පසුගියදා ලැබුණු නඩු තීන්දුවක් සමඟ ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ක‍්‍රීඩා පනතට අනුව එම ධූරයට සුදුසු ද යන ගැටලුව නැවතත් මතුවී තිබේ. සුමතිපාල මහතා ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයට සම්බන්ධ පවුලක සාමාජිකයකු යැයි එම නඩුවේදී ප‍්‍රකාශ වී තිබූ බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.

අර්ජුන රණතුංග මහතා මාධ්‍ය හමුවකදී කළේ යැයි කියන ප‍්‍රකාශයකට එරෙහිව සුමතිපාල මහතා පවරා තිබූ එම නඩුව ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයට සම්බන්ධ පවුලක සාමාජිකයකු යැයි කියන හේතුව නිසාම තව දුරටත් පවත්වාගෙන නොයෑමට අධිකරණ තීරණය කර තිබුණි.   

සුමතිපාල මහතා 2016 වසරේ ක‍්‍රිකට් නිලවරණයට ඉදිරිපත්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා ක‍්‍රීඩා අමාත්‍යංශය නොසළකා හැරීම මෙම අධිකරණ තීන්දුවත් සමඟ අභියෝගයට ලක්ව තිබේ. නිලවරණයේ නාමයෝජනා සම්බන්ධයෙන් එළඹි සියලු තීරණ සම්බන්ධයෙන් තමන් වගකීම ගන්නා බව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර තිබිණි. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කඩා වැටීමට තිලංග සුමතිපාල මහතා ප‍්‍රමුඛ වර්තමාන ක‍්‍රිකට් පරිපාලනය වගකිවයුතු බවට විවිධ අංශවලින් දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් තිබේ. එහිදී ඇතැම්හු ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය විසුරැවා හැර අතුරු කමිටුවක් පත්කළ යුතු බව ප‍්‍රසිද්ධියේ පවසති.

එම චෝදනා ඉවසාගත නොහැකි සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව ඉල්ලා අස්වූ බව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සහ ක‍්‍රිකට් පරිපාලනයේ තත්ත්වය බින්දුවට වැටී තිබියදී ක‍්‍රීඩා අමාත්‍යංශය ‘අතීසාරයට අමුඩ ගැසීමේ’ සමුළුවක් ලබන 15 වැනිදා බත්තරමුල්ලේදී පැවැත්වීමට සූදානමින් සිටී. 

මෙම සමුළුවේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගෙන්, හිටපු ක‍්‍රිකට් පරිපාලකයන්ගෙන්, මාධ්‍යවේදීන්ගේ ඇතුළු බොහෝ පිරිසකගෙන් අදහස් ලබා ගන්නා බව ක‍්‍රීඩා අමාත්‍යංශය පවසයි. මෙම සමුළුව සම්බන්ධයෙන් හිටපු සුපිරි ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් කරමින් පවසා තිබුණේ මෙවැනි දේවල් බොරුවැඩ බවයි. 

මොකටද අපේ අදහස් ගන්නේ. අපේ අදහස් අරගෙන ක‍්‍රියාත්මක කරනවද? ඒකටනේ ඔය කට්ටියක් පත්කරලා තියෙන්නේ. එයාලට බැරි නම් වෙන කාට හරි දෙන්න  ඕනේ යැයි එහිදී මුරලිදරන් වැඩි දුරටත් පවසා තිබුණි. 

මෙම සමුළුව ද වෙනත් සමුළු සේම වාර්තාවකට සීමා වනවාට නම් සැක නැත. කරන්න වැඩක් නැත්තේ නම් මෙයට සහභාගි වූවාට කම් නැතැයි ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ කියති. සමහරුන්ගේ මතය දේශපාලනය මුළුමනින්ම ඉවත් කරන තුරු මේ කඩා වැටීමෙන් ගොඩ ඒම අසීරු වන බවයි. හිටපු ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහාය ලබාගෙන කණ්ඩායමට යළි ජීවය කැවීමටත් හොඳ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවකුගේ සේවය ලබාගැනීමටත් එය අවශ්‍යම සාධකයක් බව ඔවුහු පෙන්වා දෙති. දැන් සිදුවන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම් පිළිබඳව කතා නොකර විවිධ නිවේදන නිකුත් කිරීම සහ සැලසුම් සකස් කිරීම බවත් පවතින තත්ත්වය යටතේ ඒ සියල්ල ගඟට කැපූ ඉනි වනු ඇති බවත් ඔවුහු කියති. ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් ක්‍රිකට් ක්ෂේත්‍රයට සම්බන්ධ වගකිව යුතු දක්ෂයන් විශාල පිරිසක් ඈත්ව සිටින බවත් ජයසූරියලාගේ අරවින්දලාගේ ඈත්වීම ඊට ආසන්නම සිදුවීම බවත් ඔවුහු පෙන්වා දෙති. 

මේ අතර හදිසි නිලවරණයක් කැඳවා වගකීම් කරට ගතහැකි නායකයෙකුට ක්‍රිකට් සභාපති පදවිය භාරදීමට තිලංග සුමතිපාල මහතාගේ සූදානමක් ඇති බවත් පැවැසෙයි. නමුත් තමත් පිරිසක් කියන්නේ තිලංග දැනටද  සභාපති පදවිය දැරීම නිත්‍යානුකූල නොවන බවයි. 

I වරකාගොඩ ගමගේ