2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා ක්‍රිකට් දෙකට බෙදෙයි ධර්මදාසලා වෙනම ගමනක

 2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 07:34 110

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනයේ ‘තිලංග සහ ජයන්ත’ පාර්ශව දෙක අතර නැවතත් ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වීමෙන් උප සභාපති ජයන්ත ධර්මදාස මහතා ඇතුළු කණ්ඩායම විධායක කමිටුව සහ නිල උත්සව වර්ජනය කරන බව ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයෙන් දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පසුගිය සඳුදා පැවැති ජාතික ක‍්‍රිකට් සම්මාන උළෙල ජයන්ත ධර්මදාස මහතා ඇතුළු පිරිස වර්ජනය කළ බව තතු දන්නෝ පවසති. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී පසුගිය ඉරිදා පැවැති විශේෂ මහ සභාවට ද ජයන්ත ධර්මදාස මහතා සහභාගි වූයේ නැත. ‘ජයන්ත’ පාර්ශ්වයට සම්බන්ධ 10 කට අධික සංඛ්‍යාවක් විශේෂ මහ සභාව වර්ජනය කළ බවද වාර්තා වේ.  

‘රණතුංග’ පාර්ශ්වය එළවා දැමීමේ ප‍්‍රධාන අරමුණ ඇතිව සන්ධානගත වූ ‘තිලංග සහ ජයන්ත’ පාර්ශ්ව දෙක මෙම වසරේ ජනවාරි මස වර්තමාන පරිපාලනය වැඩ ආරම්භ කර සති කීපයක් යෑමට පෙර විරසකය ඇති වූ අතර ගැටුම සමතයකට පත්කිරීමට ඇතැම් අවස්ථාවලදී අමාත්‍ය මට්ටමේ මැදිහත්වීම් ද සිදුවූ බව වාර්තා විය.

මෙම වසර මැදී ජයන්ත ධර්මදාස මහතා උප සභාපති ධූරයෙන් ඉවත්වීමේ සූදානමක් ද පැවැති බව වාර්තා විය. කෙසේ වෙතත් ඒ සෑම අවස්ථාවකදීම පාර්ශ්ව දෙක සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබාගත් බව දැනගන්නට ලැබුණි. ගැටලුව දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වූ අවස්ථාවේදී තිලංග සුමතිපාල සහ ජයන්ත ධර්මදාස යන මහත්වරු අතර පමණක් සාකච්ඡා පැවැති අවස්ථාද තිබූ බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැත්තෙන් දැනගන්නට ලැබේ.

ක‍්‍රිකට් ආයතනය තනතුරු පත්කිරීම, ක‍්‍රීඩා සමාජවලට මුදල් ඇතුළු වරප‍්‍රසාද ලබාදීම, දිස්ත‍්‍රික් සහ පළාත් සංගම්වල තනතුරු බෙදාගැනීම සහ ඇතැමුන් තනි මතයට කටයුතු කිරීම ආදී ප‍්‍රධාන හේතු ‘තිලංග සහ ජයන්ත’ පාර්ශව දෙක අතර විරසකයට බලපෑවේය. 

ශ්‍රී ලංකාවේදී දැන් පැවැත්වෙන ආසියානු වයස 19න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ සංවිධාන කටයුතුවල දීමනා ලබන සේවයට හිතවතුන් පත්කිරීමේදී ඇති වූ අසමතුලිත තත්ත්වයක් විරසකය අලුත්වීමට ආසන්නතම හේතුව බව තතු දන්නෝ පවසති. 

කොළඹදී පැවැති සම්මාන ප‍්‍රදානයට උප සභාපතිවරයකු වන කේ. මතිවානන් මහතා සහභාගි වී සිටි අතර ඒ මහතාට සම්මාන ප‍්‍රදානය සඳහා පසුව ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඇතැමුන් කනස්සල්ල පළකර ඇති බව ද දැනගන්නට තිබේ. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය පිළිබඳව හොඳ අවබෝධයක් ඇති නිලධාරීන් පවසන්නේ ඉතාමත් ආසන්නයේම දෙපාර්ශවය අතර ගැටුම කරළියට පැමිණෙනු ඇති බවයි.

මෙහිදී එක පාර්ශයක් තුළද ගැටුම් නිර්මාණය වී ඇති බව දැනගන්නට තිබේ. හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු සහ ඔහුගේ සමීපතම ඥාතියකු යැයි කියන කාන්තාවකට ක‍්‍රිකට් ආයතනයේ රැකියා ලබාදීම පිළිබඳව බොහෝ දෙනකු විරෝධය පළ කරන බව ද වාර්තා වේ. ඒ හේතුවෙන් අදාළ කාන්තාවට මේසය සහ පුටුව ස්ථාන කීපයකට මාරු කිරීමට සිදුවූ බව ද දැනගන්නට තිබේ.

මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය මේ වනවිට ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වන අතර හොඳ හොඳ සෙල්ලම් ඉදිරියට දැකගත හැකි බව මේට්ලන්ඩ් පෙදෙසෙන් ඇසේ.    

♦ යොහාන් භාසුර