2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

ප්‍රේක්ෂකයන්ගේ පුපුරායාම 02

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 133

ශ්‍රී ලංකාවේදී ප්‍රේක්ෂකයන්ගේ කළහකාරී හැසිරීම හේතුවෙන් අන්තර්ජාතික ක‍්‍රිකට් තරගයක් අතරමග නතර කිරීමේ සිද්ධියක් පළමු වරට පසුගිය ඉරිදා (27 වැනිදා) පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී ඉතිහාසයට එකතු විය. 

රංගිරි දඹුල්ල ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ඊට පෙර ඉරිදා (20 වැනිදා) පැවැති තරගය අවසානයේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ප්‍රේක්ෂකයන් ක‍්‍රීඩකයන්ට සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනයට එරෙහිව විරෝධය පළ කිරීමෙන් උණුසුම් තත්ත්වයක් ඇති විය. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිල අඛණ්ඩව පරාජය වීම පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් දැඩි කළකිරීමට පත්ව සිටින අතර ඔවුහු ඉන්දියාවට එරෙහිව පල්ලෙකැලේ පැවැති දෙවැනි තරගයත් පරාජයට පත්වීමට ආසන්නව තිබියදී කළහකාරීව හැසිරෙන්නට වූහ. 

ඉන්දීය ඉනිමේ 44 වැනි ඕවරය අවසන් වනවාත් සමඟම ෙප්‍ර්ක්‍ෂකයෝ පන්දු රකිමින් සිටි ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් වෙත ප්ලිස්ටික් වතුර බෝතල්වලින් මෙන්ම වෙනත් දෑවලින් දමා ගසන්නට වූහ. 

මෙම ප‍්‍රහාර එල්ල වූයේ ක‍්‍රීඩාංගණයේ වම් සහ දකුණු පස විවෘත ප‍්‍රදේශයේ ප්‍රේක්ෂකයන් වෙතින් වන අතර ඒ හේතුවෙන් හතරේ සීමා අසළ බෝතල් වැටී තිබෙනු දැකගත හැකිවිය. 

මෙහිදී බෝතල් ප‍්‍රහාරය මෙන්ම 5000 ක පමණ ප්‍රේක්ෂකයන්ගේ ‘හූ’ හඩ වඩාත් කැපී පෙනුණි. මෙහිදී ප්‍රේක්ෂකයෝ ක‍්‍රීඩකයන්, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වර්තමාන පාලකයන්, ක‍්‍රීඩා අමාත්‍යවරයා සහ තේරීම් කමිටුව දැඩි විවේචනයට ලක් කළහ.

බෝතල් ප‍්‍රහාරයත් සමඟ විනිසුරුවරුන් සහ ක‍්‍රීඩකයන් පිටිය මැද විනාඩි 20 ක් පමණ බලා සිටියහ. එහිදී පිතිකරුවන් දෙපළ වූ රෝහිත් ශර්මා සහ මහේන්ද්‍ර සිං දෝනි තණතීරුව ආසන්නට වන්නට වාඩිවී සිටියහ. තත්ත්වය පාලනය නොවූයෙන් තරගය තාවකාලිකව අත්හිටුවා ක‍්‍රීඩකයෝ සහ විනිසුරුවරු ආපසු ක‍්‍රීඩාගාරයට ගියහ.

මෙහිදී ශ්‍රී ලංකා පිලේ ක‍්‍රීඩකයන් ක‍්‍රීඩාංගණය මැද බියට පත්ව සිටින ආකාරය දැකගත හැකි විය. ආරක්‍ෂක අංශ මැදිහත් වී වම් පස ප‍්‍රදේශයේ පේ‍්‍රෂකයන් ක‍්‍රීඩාංගණයෙන් ඉවත්කිරීමෙන් පසුව නැවතත් තරගය ආරම්භ කළ අතර ශර්මා සහ දෝනි ලකුණු 8 ක ඉලක්කය සම්පූර්ණ කළහ. 

ෙප්‍ර්ක්‍ෂකාගාරවලින් ඉවත් කළ ෙප්‍ර්ක්‍ෂකයෝ ක‍්‍රීඩාංගණයෙන් පිටත  මහනුවර මහියංගනය ප‍්‍රධාන මාර්ගයේ සහ සෙසු මාර්ගවල සිට ‘හූ’ හඬ නගමින් උද්ඝෝෂණය කරන්නට වූහ. පේ‍්‍රක්‍ෂකයන් පාලනය කිරීමට පොලිස් කැරළි මර්දන ඒකකය මෙන්ම ජල ප‍්‍රහාරක රථ ද කැඳවා තිබුණි. 

දඹුල්ලේ උද්ඝෝෂණයෙන් පසුව අප පසුගිය සතියේ පැවසුවේ පල්ලෙකැලේදී මෙය තවත් වර්ධනය විය හැකි බවයි. එය එසේ සිදුවිය.

කොළඹදී ආර්. ප්‍රේමදාස ක‍්‍රීඩාංගණයේදී පසුගිය බ‍්‍රහස්පතින්දා සිවුවැනි එක්දින තරගය පැවැත්වීමට නියමිතව තිබූ අතර එම තරගයේදී තත්ත්වය මීට වඩා බරපතළ වීමේ අවදානමත් තිබිණි. මෙම තත්ත්වය හමුවේ තරග නැරඹීමට ක‍්‍රීඩාංගණයට එන ෙප්‍ර්ක්‍ෂක සංඛ්‍යාව අඩු වීමට බොහෝ දුරට ඉඩ තිබේ. 

♦ යොහාන්