2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

බොරදියේ මාළු බාන ශ්‍රී ලංකා ක්‍රිකට්

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 127

ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් බොර දියේ මාළු බෑමට උපන් හපන්කම් දක්වන බව ප‍්‍රසිද්ධ රහසකි. දැන් පැවැත්වෙන ඉන්දීය සංචාරයේ තරග පරාජය වුවද, පේ‍්‍රක්‍ෂකයන් ‘හූ’ තැබුවද, ක‍්‍රීඩකයන්ට බෝතල් ප‍්‍රහාර එල්ල කළ ද, කිසිවකුට නොදැනෙන්න ළහිරු තිරිමාන්න කණ්ඩායමට ඇතුල් කිරීමට කටයුතු කර තිබේ. 

ළහිරු තිරිමාන්න කණ්ඩයමට ගෙන ඒම පිටුපස වර්තමාන ක‍්‍රිකට් පරිපාලනයට බලයට ඒමට ඡන්දය ලබා දුන් ක‍්‍රීඩා සමාජයක ප‍්‍රසිද්ධ චරිතයක් සහ ක‍්‍රිකට් ලොක්කෙකු කටයුතු කරන බවට මීට පෙර ‘දේශය’ හෙළි කළේය. එය පසුගිය ඉරිදා සනාථ විය. 

උපුල් තරංග තහනමකට ලක්වීම සහ ධනුෂ්ක ගුණතිලක ආබාධයකට ලක්වීමෙන් ප‍්‍රයෝජනය ගත් ක‍්‍රිකට් බලධාරීහූ තිරිමාන්න සහ චන්දිමාල් සංචිතයට කැඳවනු ලැබූහ. චන්දිමාල් ගෙන ඒමේ කිසිදු ප‍්‍රශ්නයක් නොමැත. 

මෙහි වඩාත් කැපී පෙනෙන සිද්ධිය බවට පත්වූයේ සංචිතයට කැඳවූ තිරිමාන්න සහ චන්දිමාල් එක්දින තරගය ටෙස්ට් තරගයක් බවට පත්කිරීමය.  චන්දිමාල් සහ තිරිමාන්න තෙවැනි කඩුල්ලට පන්දු 108 කින් ලකුණු 72ක සම්බන්ධතාවක් පැවැත්වූහ. ආරම්භක පිතිකරු වූ චන්දිමාල් පන්දු 72 කින් ලකුණු 36ක් පමණක් රැස්කළේය. 

තිරිමාන්න පස්වැනි කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 105 කදී ලකුණු 80 ක් රැස්කර තිබුණි. ක‍්‍රිකට් ලොක්කන්ගේ ජාමේ බේරා ගැනීමට තිරිමාන්නට මෙම ලකුණු 80 තවත් සංචාර කීපයකට ප‍්‍රමාණවත් වන්නට ඉඩ නැතුවා නොවේ.
සනත් ජයසූරිය ප‍්‍රමුඛ තේරීම් කමිටුව තරගයක් පමණක් ලබාදුන් යොවුන් ක‍්‍රීඩක අවිෂ්ක ප‍්‍රනාන්දු වැනි ක‍්‍රීඩකයන්ට මෙන්ම අන්තර් සමාජ, අන්තර් පළාත් තරගාවලිවල දස්කම් දැක්වූ ක‍්‍රීඩකයන්ට අවස්ථාව ලබාදෙන්නේ කවදාද යන ප‍්‍රශ්නය දැන් මතුවී තිබේ.    හිටපු නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා තෙවැනි පරාජයෙන් පසු දින එනම් පසුගිය සඳුදා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේ වර්තමාන ක‍්‍රිකට් පාලනය විසුරුවා අතුරු කමිටුවක් පත්කළ යුතු බවත් තේරීම් කමිටුව ඉවත් කළ යුතු බවත්ය.

අර්ජුන රණතුංගගේ යෝජනාව මේ වනවිට බිම් මට්ටමේ ක‍්‍රිකට් පේ‍්‍රක්‍ෂකයන්ගේ ද අදහස බවට පත්ව තිබේ. පේ‍්‍රක්‍ෂකයන් ‘හූ’ කියන ගමන් පවසන්නේ ද එයමය. ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා තිබුණේ තමන් පත්කළ කමිටුවට පැමිණ එසේ කියන පුද්ගලයන්ට ද යෝජනා ඉදිරිපත් කළ හැකි බවත් ඒවා සළකා බලන බවත්ය.  
ශ්‍රී ලංකා එක්දින පිල ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය ද පරාජයට පත්ව අවසන්ය. ශ්‍රී ලංකා පිලට මෙම තරගාවලියේදී ලැබුණු අභියෝගය සාර්ථක කරගැනීමට නම් කොළඹදී පැවැත්වෙන තරග දෙකම ජය ලැබීම අනිවාර්ය වී තිබේ.

ශ්‍රී ලංකාව පසුගිය වසර දෙකක පමණ කාලයක් තුළ මුහුණු දී සිටින අවාසනාවන්ත තත්ත්වයක් වන ක‍්‍රීඩකයන් ආබාධවලට ලක්වීම තව දුරටත් ගැටලුවක්ම බවට පත්ව තිබේ.  පල්ලෙකැලේදී පැවැති තරගයේදී දිනේෂ් චන්දිමාල් පන්දුවක් ඇඟිල්ලේ වැදීමෙන් තුවාල ලැබීමෙන් විවේක ගැනීමට සිදුවී තිබේ. 

අකිල ධනංජය මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් කඩුලු දවා ගැනීමට සමත්ව සිටිය ද සෙසු පන්දු යවන්නෝ පීඩනය යොමු කිරීමට අපොහොසත්ව සිටිති. ඉන්දීය පිතිකරුවන්ට පීඩනය යොමු කිරීමට නායකයා යොමු නොවීම මෙහිදී කැපී පෙනුණි. පල්ලේකැලේ දෙවැනි තරගයේදී ද ඉන්දීය පිලේ මුල් පෙළ පිතිකරුවන් සිවුදෙනකු ලකුණු 61 කට දවා ගත්ත ද පස්වැනි කඩුල්ලට ලකුණු 157 ක නොබිඳු සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් වාසිය අත්හැරුණි. 

ලසිත් මාලිංග බ‍්‍රහස්පතින්දා තරගයේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවීමට සූදානම්ව සිටි අතර ඔහු කඩුල්ලක් දවාගෙන එක්දින කඩුලු 300 සම්පූර්ණ කළහොත් ලබන 3 වැනිදා පැවැත්වෙන පස්වැනි එක්දින තරගය මාලිංගගේ අවසන් එක්දින ජාත්‍යන්තර තරගය වීමට ඉඩ තිබේ.  කොළඹ ආර්. ‍ප්‍රේමදාස ක‍්‍රීඩාංගණයේදී පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබූ තරගය ලෙස බලා සිටීම පමණක් දැන් ඉතිරිව තිබේ.   

♦ විශේෂ ලියුම්කරුවකු විසිනි

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00