2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

ක්‍රිකට් රසිකයන්ගේ පුපුරායාම

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 134

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා යෑමෙන් ඇතිවූ කළහකාරී තත්ත්වය නිසා පසුගිය ඉරිදා රාත‍්‍රී රංගිරි දඹුල්ල ක‍්‍රීඩාංගණ භූමිය ලිප්ටන් වටරවුමටත් වඩා උණුසුම් විය. ප්‍රේක නැගී සිටීම කිසිදු ආකාරයකින් සැළසුම් කළ උද්ඝෝෂණයක් නොව බව මනාව පැහැදිලි විය. ශ්‍රී ලංකා ප්‍රේක්‍ෂකයෝ ඉන්දීය ඉනිමේ මැද භාගයක් දක්වා ශ‍්‍රී ලංකා පිලට සහාය පළ කළද පරාජයටත් පත්වන බවට ඉඟිපළවෙත්ම ‘හූ’ කියන්නට වූහ. එය එසේ වුවද කණ්ඩායමට මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුවේ යැයි කිසිවකු සිතන්නට නැත.

තරගයේ ත්‍යාග ප‍්‍රදානය අවසන් වෙත්ම පේ‍්‍රක්‍ෂකයන් පිරිසක් ක‍්‍රීඩාංගණයට පැන කලබලකාරී ලෙස හැසිරුණු අතර පොලිසිය ඔවුන් ඉවත් කිරීමට කටයුතු කළේය. ප්‍රේක්ෂකයන්ගේ 500 ක පමණ පිරිසක් පසුව දෙරටේ ක‍්‍රීඩකයන් බස් රථයට ගොඩවන තෙක් විවිධ සාම්ප‍්‍රදායික උද්ඝෝෂණයක් ලෙස පාඨ කියමින් සිටියහ. එහිදී ප්‍රේක්ෂකයන්ගේ බස් රථවලට ළංවීමට සූදානම් වූ අවස්ථාවේ පොලිසිය ඔවුන් තරමක් පසුපසට තල්ලු කළේය. 

මෙහිදී සාමාන්‍ය උද්ඝෝෂණයකට වඩා ‘හූ’ හඬ ඉදිරියෙන් තිබුණි. එම ‘හූ’ හඬ කබා පැළඳ සිටි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ට බව දැකගත හැකිවිය. ‘අපේ ක‍්‍රිකට් අපිට ඕනේ’’, ‘96 ක‍්‍රිකට් අපිට ඕනේ’, දේශපාලනය අපිට එපා’, වැනි වැකි මෙන්ම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලොක්කෙකුගේ නමක් සඳහන් කරමින් ද උද්ඝෝෂකයෝ සටන් පාඨ කියන්නට වූහ.

උද්ඝෝෂකයන් වඩාත් උණුසුම් වෙත්ම කැරළි මර්දන පොලිස් කණ්ඩායමක් කැඳවා තිබූ අතර ඔවුහු පහරදී උද්ඝෝෂකයන් එළවා දැමූහ. ඉන් අනතුරුව ක‍්‍රීඩකයන් ගමන් ගන්නා බස් රථවලට පොලිස් ජීප් රථ සහ ඩිපෙන්ඩර් රථවලින් ආරක්‍ෂාව සැපයූ අතර එම අතරවාරයේදී දෙපිලේ ක‍්‍රීඩකයෝ බස් රථවලට ගොඩවූහ. ඉන්පසුව දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ බස් රථ දෙක ක‍්‍රීඩාංගණයෙන් පිටත්කර හැරිනු ලැබීය.

මෙම සිද්ධියෙන් පසු දින එනම් පසුගිය සඳුදා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මාධ්‍ය හමුවක් පවත්වා පවසා තිබුණේ ක‍්‍රීඩකයන් හෝ ක‍්‍රිකට් ආයතනය එම උද්ඝෝෂණයේදී විවේචනයට ලක්නොවූ බවයි. නමුත් එහිදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සහ පාලකයන් දැඩි විවේචනයට ලක්වූ බව එම ස්ථානයේ සිටි අය සාක්‍ෂි දරනු ඇත. 

එම ස්ථානයේ සිටි ඉන්දීය ජාතිකයකු පැවසුවේ ශ‍්‍රී ලංකා ප්‍රේක්‍ෂකයන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති බවයි. “අපේ රටේ නම් ප්‍රේක්‍ෂකයො මීට වඩා කළහකාරීව හැසිරෙනවා. නමුත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලෝලීන් කෑ ගහනවා විතරයි” යැයි එම ඉන්දීය ජාතිකයා වැඩිදුරටත් පැවසීය. 

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ මෙවැනි සිද්ධියක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වේ. පාලකයන් අත පෙවීමෙන් තව දුරටත් තරග පරාජයට පත්වුවහොත් මෙවැනි උද්ඝෝෂණ මීට වඩා දරැණු වීමට ඉඩ තිබේ. 

♦ යොහාන් භාසුර