2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

ගුරා හෙනහුරා වෙලා!

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 293

අපේ ටීම් එක පරදින්නේ මණ්ඩලේ කචල් නිසාද? ඇතැම් ‍ප්‍රේක්ෂකයෝ අපෙන් ප‍්‍රශ්න කරති. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායම තුළ අර්බුද ඇති සෑමවිටම තරග පරාජය වන බවට ඕනෑතරම් සාක්‍ෂි තිබේ. මෙවර ද එය එසේමය. සාමාන්‍ය ජනතාවගේ ඉව වඩාත් නිවැරදිය. ශ්‍රී ලංකා පිල ඉන්දියාව හමුවේ ටෙස්ට් තරගාවලිය 3x0ක මාර පරාජයක් ලැබූ අතර එම පරාජයට කණ්ඩායමේ අභ්‍යන්තර අර්බුද දැඩි බලපෑමක් කර තිබෙන බව පැහැදිලිය.

අසංක ගුරුසිංහ කණ්ඩායමේ කළමනාකරු ලෙස පත්වීමෙන් පසුව කණ්ඩායම තුළ අර්බුද පැටව් ගැසූ බව නම හෙළිකිරීමට නොහැකි ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරියෙක් පැවසීය. අසංක ගුරුසිංහගේ හැසිරීම අපට වඩා ඔහුගේ සමකාලීකයෝ හොඳට හැටි දනිති. ඉතාමත් සුළු දෙයකට වුවද දැඩිව කිපෙන්නේ යැයි කියන ගුරුසිංහ ක‍්‍රීඩා කරන අවධියේ පවා ක‍්‍රීඩකයන් රැසක් සමඟ ගැටුම් ඇති කරගත් බව බොහෝ දෙනා දන්නා දෙයකි.

ඔහු එක් අවස්ථාවක ශ්‍රී ලංකා පිලේ හිටපු ප‍්‍රසිද්ධ ක‍්‍රීඩකයකුට පහර දුන් බව ද ඇතැම්හූ පවසති. ඔහු 1996 ලෝක කුසලාන ජයග‍්‍රහණයෙන් පසුව හිටපු නායක අර්ජුන රණතුංග සමඟ අර්බුදයක් ඇති කරගෙන ඕස්ට්‍රේලියාවට පදිංචියට ගිය බව ප‍්‍රසිද්ධ සිද්ධියකි.  ගුරුසිංහගේ එම ඕස්ට්‍රේලියානු ගමන වසර 20ක පමණ කාලයකට දික්විය. ඔහු  ඕස්ට්‍රේලියාවේදී ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සම්බන්ධක් නොමැති රැකියාවක් කළ බව දැනගන්නට තිබේ. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ලොක්කෙකුට රණතුංග විරෝධියන්ගේ මේනියාවක් ඇති අතර ක‍්‍රිකට් ලොක්කාට ඕස්ට්‍රේලියාවේදී ගුරුසිංහ මුණගැසීමෙන් මෙසේ රණතුංග විරෝධියකු කරළියට ගෙන ඒමට මඟ පැදුණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේදී පසුගිය අප්‍රේල් මස අවසන් වූ විවාදාත්මක බංග්ලාදේශ සංචාරයේදී ගුරැසිංහ කණ්ඩායමේ ක‍්‍රිකට් කළමනාකරු ලෙස පත්වූ අතර පසුව තේරීම් කමිටු සාමාජිකයෙක් ලෙස පත්වීම් ලැබීය. 

ගුරුසිංහ කණ්ඩායමට රිංගූ දින සිට ‘මණ්ඩලේ කචල්’ බව දැනගන්නට තිබේ. ඔහු ක‍්‍රීඩකයන් සමඟ මෙන්ම කණ්ඩායමේ සෙසු නිලධාරීන් සමඟද ගැටුම් නිර්මාණය කරගත් බව දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා පිලේ ක‍්‍රීඩකයන් බොහෝමයක් ඔහුගේ හැසිරීමට විරෝධය පළ කළද ක‍්‍රිකට් ලොක්කාගේ ගේම් පිළිබඳව ඇති අවබෝධය හේතුවෙන් නිශ්ශබ්දව සිටින බව වාර්තා වේ. 

ගුරුසිංහගේ කළමනාකාර නො‍හැකියාවේ ආසන්නතම සිද්ධිය තෙවැනි ටෙස්ට් තරගය පැවැති පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා විවේකාගාරයෙන් එළියට පැන්නේය.  ගුරුසිංහ කළමනාකරු ලෙස පත්වීමෙන් පසුව ක‍්‍රීඩකයන්ට ‘බිස්කට්’ කෑම තහනම් කර තිබේ. එයට හේතුව බවට පවසා ඇත්තේ ක‍්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පවත්වා ගෙන යෑම බවය.

ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ ශ්‍රී ලංකා විවේකාගාරයේ තිබී ගුරුසිංහට බිස්කට් හසුවී තිබේ. එය ක‍්‍රීඩකයන් ගෙන ආ එකක් නොවන බවත් වෙනත් නිලධාරියකුගේ බවත් දැනගන්නට තිබේ. එය දුටු ගුරුසිංහ දුම්මල වරම් ගත් කපුවකු සේ ආවේශ වී ක‍්‍රීඩකයන්ට දොස් නඟා ඒ පිළිබඳව පරීක්‍ෂණයක් කරන බවට පවසා තිබේ. ක‍්‍රීඩකයන් පවසන්නේ මෙය බිස්කට් ගෙනාවේ කවුද යන්න සෙවීමට අවස්ථාවක් නොවන බවයි. 

ගුරුසිංහ කළමනාකරු ලෙස පත්වීමෙන් පසුව ක‍්‍රීඩකයන්ට හදිසි අවශ්‍යතාවක් සඳහා ද ඔහුව සම්බන්ධ කරගත නොහැකි බවට චෝදනා එල්ල වී තිබේ. ඔහු එවැනි අවස්ථාවලදී දුරකථන කෙටි පණිවුඩයක් පමණක් යොමු කරන බව කියති.
කොළඹදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව ගුරුසිංහ මහතා බඩු මුට්ටුත් රැගෙන පිටව ගියත් ක‍්‍රිකට් ලොක්කා මැදිහත් වී නතර කරගත් බව වාර්තා වේ. එම තරගයේදී කණ්ඩායමේ තේරීම් ඔහුගේ අභිමතය අනුව සිදුවූ බව දැනගන්නට තිබේ. ගුරුසිංහ පසුව ජනමාධ්‍ය විසින් කණ්ඩායමේ විශ්වාසය කඩ කරන බවට පවසමින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබුණි. 

ක‍්‍රිකට් පරිපාලනයේ ද මණ්ඩලය එතරම් හොඳ නැත. උප සභාපතිවරයකු මේ වන විට හොර රහසේම අස්වීමේ ලිපිය බාරදී තිබේ. ක‍්‍රිකට් කමිටුවේ සභාපති ධූරය දැරූ අරවින්ද ද සිල්වා, ප‍්‍රධාන පුහුණුකරු ධූරය දැරූ ග‍්‍රැහැම් ෆෝඩ් සහ වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරු චම්පක රාමනායක යන මහත්වරු ඉල්ලා අස්වූහ.

වර්තමාන පිලේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරන හිටපු සුපිරි ක‍්‍රීඩකයකු තරගයකින් පසුව මාධ්‍යයට කළ ප‍්‍රකාශයක් හේතුවෙන් මිනිහා රණතුංගගේ එකෙක් යැයි ක‍්‍රිකට් ලොක්කා පවසා ඇති බව වාර්තා වේ. සාමාන්‍යයෙන් නිවසක වුවද කුණු භාජනයට එකතු කළද දුගඳ හැමීමට පෙර ඉවත් කරයි. ක‍්‍රිකට් ආයතනයට ද එම උදාහරණය දැන් ආදේශ කරගත හැකිය.  
 
විශේෂ ලියුම්කරුවකු විසිනි

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00