2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

සුවීප් - රිවර්ස් සුවීප් සහ දික්වැල්ලට ඇදෙන ස්වීප්

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 227

සුවීප් සහ රිවර්ස් සුවීප්’ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ වඩාත් කතා බහට ලක්විය. දෙපිලේම පිතිකරුවෝ පීඩනයෙන් මිදීමට මෙම පහර දෙක භාවිතා කළහ. 

‘සුවීප්’ පහර ටෙස්ට් පිටියට ආගන්තුක නොවුණ ද ‘රිවර්ස් සුවීප්’ පහර ආගන්තුක මෙන්ම භයානකය. ශ්‍රී ලංකා පිතිකරුවන් එම පහර දෙකෙන් ඔබ්බට ගොස් ‘ඩිල්ස්කූප්’ පහර ගැසීමට ගොස් අමාරැවේ වැටුණු බවද පෙනිණි.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 51 ක් ලබා ඉතාමත් වගකීම් විරහිතව වේග පන්දු යවන මොහොමඩ් ශමී යැවූ පළමු පන්දුවට ‘ඩිල්ස්කූප්’ පහර ගැසීමට ගොස් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.

එහිදී දික්වැල්ල ඉන්දීය දඟ පන්දු යවන්නන්ගේ පීඩනයෙන් මිදීමට වේගවත් පහරට යෑමට දොස් නැගිය නොහැකි වුවද ඔහු ටෙස්ට් තරගයක ක‍්‍රීඩා කරන බව අමතක කිරීම හේතුවෙන් කඩුල්ල පූජා කිරීමට සිදුවිය.

තරගයෙන් පසුව දික්වැල්ල පවසා තිබුණේ පීඩනයෙන් ගැලවීමට ‘සුවීප් සහ රිවර්ස් සුවීප්’ පහර යොදාගත් බවත් ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන්ගේ පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා පවා එම පහර දෙකට දිරිගන්වන බවත්ය.

ටෙස්ට් පිතිකරු ලැයිස්තුවක අංක 6 ස්ථානය යනු වඩාත් වගකීමෙන් ක‍්‍රීඩා කළ යුතු ස්ථානයකි. ශ්‍රී ලංකාවෙන් බිහිවූ වඩාත් තාක්‍ෂණයෙන් යුත් ටෙස්ට් පිතිකරු විශේෂඥයන් ලෙස සළකන හෂාන් තිලකරත්න සහ තිලාන් සමරවීර අංක 6 සහ 7 ස්ථානවල පන්දුවට පහර දුන් පිතිකරැවෝ වෙති. 

එම වගකීම ගැනීමට දික්වැල්ල සූදානම් විය යුතුය. එසේ නොවේ නම් ඔහුගේ ටෙස්ට් ගමන කෙටිවීම වැළැක්විය නොහැක. ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ කඩුලු රකින්නන්ගේ ඉතිහාසයේ ලෙස බැලූවහොත් අමාරුවේ වැටුණු අවස්ථාවක කඩුල්ලේ රැදී සිටින පිතිකරුවන් බව බැලූ බැල්මටම පෙනේ. 

ගුරැවරුන් සිටින්නේ පාඩම් ඉගැන්වීමට සහ වැරදි නිවැරදි කිරීමටය. නමුත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සිටින ගුරුවරුන් වැරදි කිරීමට දිරිගන්වන්නේද යන සැකය ඇතැම් ක‍්‍රීඩකයන්ගේ ප‍්‍රකාශවලින් ඇතිවේ. 

දික්වැල්ලට පළමු ඉනිමේදී අන්තයක් ආරක්‍ෂා කරගනිමින් පන්දුවට පහර දෙන ලෙස උපදෙස් දී යැව්වේ නම් තරගයේ ප‍්‍රතිඵලය පවා වෙනස් කිරීමේ අවස්ථාව තිබුණි. 

තිලාන් සමරවීර ටෙස්ට් පිටියෙන් සමුගැනීමත් සමඟ එම ස්ථානයට රොෂේන් සිල්වා පැමිණෙනු ඇතැයි බොහෝ දෙනකු විශ්වාස කළ ද එය සිදුවූයේ නැත. නමුත් රොෂේන් ගැන සිතා බැලීමට දැන් කාලය පැමිණ තිබේ.   

ශ්‍රී ලංකා පිල ඉන්දියාව හමුවේ ටෙස්ට් තරග දෙකම පරාජයට පත්ව තරගාවලිය පරාජයට පත්ව අවසන්ය. පල්ලෙකැලේදී තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ඊයේ (12) ආරම්භ වීමට නියමිතව තිබුණි.

ලෝක ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටින ඉන්දීය වමතින් දඟ පන්දු යවන ක‍්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට පල්ලෙකැලේ ටෙස්ට් තරගය තහනම් විය. 

ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨතම දඟ පන්දු යවන්නා වන රංගන හේරත් ද ආබාධයකට ලක්වීමෙන් මෙම ටෙස්ට් තරගය අහිමිවිය. වර්තමාන ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිටියේ සක‍්‍රීයව සිටි අත්දැකීම් යම්තරමකට හෝ තිබූ වේගපන්දු යවන්නා වූ නුවන් ප‍්‍රදීප් ද ආබාධයකට ලක්වීමෙන් විවේක ගැන්වීමට සිදුවිය.  

ශ්‍රී ලංකා පිල පරාජයට පත්වන සෑම අවස්ථාවක කණ්ඩායම තුළ හෝ පරිපාලනයේ ගැටුම් නිර්මාණය වීම සාමාන්‍ය තත්ත්වයකි. දෙවැනි ටෙස්ට් තරගයේ පරාජයත් සමඟ අසංක ගුරුසිංහ මහතා තේරීම් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බවට වාර්තා පළ වුවද පසුව ඔහු නිවේදනයක් නිකතුත් කරමින් එය ප‍්‍රතික්ෂේප කළේය. 

තවද ශ්‍රී ලංකා පිලේ ක‍්‍රීඩකයන්, ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරීන්, තේරීම් කමිටු සාමාජිකයන් සහ කණ්ඩායම් කළමනාකාරිත්වයේ සභාගිත්වයෙන් පසුගිය සඳුදා එනම් පොහොය දින කොළඹ ප‍්‍රධාන හෝටලයකදී පැය තුනකට අධික හදිසි සාකච්ඡාවක් පැවැත්විණි. 

එහිදී කණ්ඩායමේ අභ්‍යන්තර ගැටලු, අසංක ගුරැසිංහ මහතාගේ ඉල්ලා අස්වීමේ සූදානම, ඇතැම් පන්දු යවන්නන් පිළිබඳව සති අන්ත පුවත්පතක පළ වූ වාර්තාවක් පිළිබඳව දීර්ඝව සාකච්ඡා වී තිබුණි.

ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරැ ලෙස රුමේෂ් රත්නායක මහතා පත්කිරීමට පසුගිය සතියේ තීරණය කර තිබුණි.  

සාකච්ඡා කොතරම් කළත් නිවැදි දේ ක‍්‍රියාත්මක වනතෙක් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ගොඩට දැමිය නොහැක. ඒ සඳහා පළමුවෙන්ම ක‍්‍රිකට් බලධාරීන් පස්සා දොරෙන් කණ්ඩායමේ අභ්‍යන්තරයට කරන අත පෙවීම නවතා දැමිය යුතුය. එය සිදු නොවන තාක්කල් ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ පරාජිත ලේබලය ගැලවිය නොහැකි වනු ඇත.

 වරකාගොඩ ගමගේ 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00