2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

මලල ක්‍රීඩකයාගෙන් තහනම් උත්තේජක රහස් එළියට

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 102

තහනම් උත්තේජක චෝදනාවට ලක්ව සිටින මලල ක‍්‍රීඩකයා සහ ඔහුගේ සාක්‍ෂිය මත හෙළි වූයේ යැයි කියන තවත් මලල ක‍්‍රීඩකයන් 11 දෙනකු රහස් පොලීසියට (සී.අයි.ඩි.) බාරදීමට සූදානම් වන බවට වාර්තා වේ.

ක‍්‍රීඩකයන්ට තහනම් උත්තේජක අලෙවි කරන්නේ යැයි කියන කොළඹ ප‍්‍රධාන නගරයක බෙහෙත් අලෙවි සලක් පිළිබඳවද හෙළි වී ඇති බව ඉතාමත් විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ. 

ශ්‍රී ලංකා සහාය දිවීමේ පිල නියෝජනය කළ තහනම් උත්තේජක චෝදනාවට ලක්ව සිටින ක‍්‍රීඩකයා ‘බී’ මුත‍්‍රා සාම්පලය පරීක්‍ෂා කිරීමට ඉල්ලීමක් නොකිරීමෙන් ඔහු වැරදිකරු වී තහනමකට ලක්වීමට වැඩි ඉඩකඩක් තිබේ. 

ජාතික මලල ක‍්‍රීඩා සංචිතයේ තවත් ක‍්‍රීඩකයන් 11 දෙනකු තහනම් උත්තේජක ලබා ගන්නා බවට නම් සහිතව අදාළ ක‍්‍රීඩකයා ක‍්‍රීඩා අමාත්‍යංශය කළ පරීක්‍ෂණයේදී හෙළි කිරීමෙන් තත්ත්වය බරපතළ වී ඇති බව මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්ව තිබේ.

මෙම ක‍්‍රීඩකයන් අතර නම ගිය දක්‍ෂ ක‍්‍රීඩකයන් රුසක් සිටින බව ද කියවේ.  

ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ ආයතනය සහ ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය ද මෙම පරීක්‍ෂණවලට සහාය දක්වන අතර ජාතික මලල ක‍්‍රීඩා සංචිතයේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ පෞද්ගලික සහ ක‍්‍රීඩා තොරතුරු රැස්කිරීම ද ආරම්භ කර තිබේ. 

එම තොරතුරු රුස්කිරීමේ ක‍්‍රියාවලියට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ පෞද්ගලික පුහුණුකරුවන් හරස්ව සිටින බව ද වාර්තා වේ. 

එම තොරතුරු ලබාගෙන ඇතැම් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ නිවෙස්වලට ගොස් පරීක්‍ෂා කිරීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට සූදානමක් ඇති බවට පැතිර යන ආරංචි හේතුවෙන් පෞද්ගලික පුහුණුකරුවන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට පෞද්ගලික තොරතුරු නොදෙන ලෙස උපදෙස් ඇති බව වාර්තා වේ. 

ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය පවත්වාගෙන යන සුපිරි මලල ක‍්‍රීඩා සංචිතයට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 34ක් ද, ජාතික මලල ක‍්‍රීඩා සංචිතයේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 70ක් ද, පුහුණුව ලබති.

 යොහාන් භාසුර