2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

වාසනාව පස්ස හරවලා!

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 202

වාසනාව යනු ඕනෑම සාර්ථක කටයුත්තකට අනිවාර්යෙන්ම තිබිය යුතු දෙයකි. වර්තමාන ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලෙන් වාසනාව ඈත්වීදැයි පසුගිය සංචාර කිහිපය දෙස බැලීමේදී සිතෙන්නට පුළුවනි. ඉන්දියාවට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේ මාර පරාජය වාසනාව තිබුණා නම් සියුම් කර ගැනීමේ අවස්ථාව තිබිණි. තරගය ආරම්භ වී පැයක් ගතවීමට පෙර කණ්ඩායමේ තුන් ඉරියව් ක‍්‍රීඩකයා මෙන්ම පසුගිය තරගාවලිවලදී ලකුණු අතර සිටි අසේල ගුණරත්න තුවාල ලබා මාස කීපයක් විවේක සුවයට වැටුණේය. 

ජ්‍යෙෂ්ඨතම පන්දු යවන්නා මෙන්ම තාවකාලික නායකයා වූ රංගන හේරත් ඉන්දීය දෙවැනි ඉනිමේදී ආබාධයකට ලක්වීමෙන් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පන්දුවට පහරදීමට පැමිණීමට නොහැකි විය. ශ්‍රී ලංකා පිලට එම තරගයේ අවසන් ඉනිමේ පිතිකරුවන් නව දෙනකුගෙන් පමණක් ක‍්‍රීඩා කිරීමට සිදුවිය. එම තරගයේදී දිමුත් කරුණාරත්නට සහ ඩිල්රුවන් පෙරේරාට ශතක  අහිමිවිය. මෙය අවාසනාව නොවේ යැයි කිසිවකුට කිව නොහැකිය.

ශ්‍රී ලංකා පිල වෙතින් පසුගිය සංචාර කීපයේදී උඩපන්දු 100 කට ආසන්න සංඛ්‍යාවක් ගිලිහී යෑම මෙම කඩා වැටීමට හේතුව බවත් පසුගිය දිනවල ඇතැම් මාධ්‍යවල වාර්තා කරමින් පන්දු රැකීමේ පුහුණුකරු නික් පෝතාස් මහතාට දොස් නඟා තිබුණි. ප‍්‍රධාන පුහුණුකරු ධූරයටද උසස්වීම් ලැබූ සුපිරි වැටුපක් ලබන නික් පෝතාස් මහතාට එම චෝදනාවෙන් පහසුවෙන් කර හැරිය නොහැක. 

ඉන්දීය පිලට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගය පසුගිය බ‍්‍රහස්පතින්දා එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර දෙවැනි දිනය අවසන් වනවිට ඉන්දීය පිල පළමු ඉනිම සඳහා කඩුලු 9 ක් දැවී ලකුණු 622 ක් රැස්කර ඉනිම අත්හිටුවිය. ශ්‍රීලංකා පිලේ පළමු කඩුල්ල වශයෙන් තරංග ලකුණු 0ට දැවී ගියේය.

උණ රෝගය වැළදීම නිසා පළමු ටෙස්ට් තරගය අහිමිවූ නායක දිනේෂ් චන්දිමාල් නැවතත් කණ්ඩායමට පැමිණියේය. එම තරගයට රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා සහ මාලින්ද පුෂ්පකුමාර දඟපන්දු යවන්නන් තිදෙනකු ක‍්‍රීඩා කිරීම කැපී පෙනෙන සිදුවීමක් බවට පත්විය. මාලින්ද ශී‍්‍ර ලංකාවේ 141 වැනි ක‍්‍රීඩකයා ලෙස ටෙස්ට් වරම් ලැබීය. 

ඒ අනුව ශ්‍රී ලංකාව නැවතත් ශ්‍රී ලංකාවේ ක‍්‍රමයට අවතීර්ණ වී තිබුණි. නුවන් ප‍්‍රදීප් එකම වේගපන්දු යවන්නා බවට පත්වූ අතර නව පන්දුවෙන් දිමුත් කරුණාරත්න මඳවේග පන්දු යවන්නෙකු ලෙස ඕවර කීපයක් යැවීය. අසේල ගුණරත්න සහ සුරංග ලක්මාල් ආබාධයන්ට ලක්වීමත් සමඟ ලැබුණු අවස්ථාවෙන් ළහිරු තිරිමාන්න සහ ලක්‍ෂාන් සඳකැන් සංචිතයට කැඳවා තිබුණි.

ටෙස්ට් සංචිතයට පිතිකරුවකු කැඳවන්නේ නම් පළමු අවස්ථාව ලබාදිය යුත්තේ ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වාටය. තවද කුඩම්මාගේ සැළකිල්ල ලබන රොෂේන් සිල්වාගේ අපලය ගෙවී අවසන් වී නොමැත. පුහුණු තරගයේ අර්ධ ශතකයක් ඉස්සරහින් තබා තිරිමාන්න ඇතුළට රිංගවීමට කටයුතු කර තිබේ. මෙම ක‍්‍රියාවින්තය පිළිබඳව ‘දේශය’ පසුගිය සතියේ හෙළි කළේය.

ගාල්ල ටෙස්ට් තරගයේදී පන්දු රැකීමට අෂේන් බණ්ඩාර නැමැති පාසල් ක‍්‍රීඩකයකු යොදවා තිබීමෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් බංකොළොත් බව ප‍්‍රදර්ශනය විය. ශ්‍රී ලංකාව පසුගිය සංචාරයේදී සිම්බාබ්වේ හමුවේ ඉතිහාසයේ පළමු වතාවට එක්දින තරගාවලි පරාජයක් ලැබීය. එම තරගාවලියේදී ද ශ්‍රී ලංකාව සතුව වාසනාව නොතිබූ බව ඇතැම් දැවී යෑම් සහ වර්ෂාව ඇතිවූ අවස්ථාවන් ලෙස බැලීමේදී සිතේ. 

සිම්බාබ්වේට එරෙහිව සිවුවැනි තරගයේදී ශ්‍රී ලංකා පිල ලකුණු 300 ක් රුස්කර තිබුණද වර්ෂාව ඇද හැලීමෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පරාජයට පත්විය. එම දිනයේදී ක‍්‍රීඩාංගණය ඇතුළු සීමිත ප‍්‍රදේශයකට පමණක් වාර්ෂාව ඇදහැලී තිබුණි. එම තරගවලදී කළ ක‍්‍රීඩකයන් මාරු කිරීම වැනි දේ නම් අවාසනාවට බාරකළ නොහැකි බවද සටහන් කළ යුතුය.

ශ්‍රී ලංකාවට මෙම අවාසනාව කැන්දා ඇත්තේ පාලකයන් යැයි ඇතැම්හු පවසති. එම ප‍්‍රකාශයේද වරදක් පෙනෙන්නට නැත. කොළඹ අකුරු තුනේ ක‍්‍රීඩා සමාජ ක‍්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමේ වැඩි අවස්ථාවක් ලැබෙන බව අප පමණක් නොව නිලවරණයේදී එකට කටයුතු කළ අයද කියති. 

♦ සටහන: වරකාගොඩ ගමගේ

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00