2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා

වයස හැත්තෑවේ නීතිය ක්‍රීඩා පනතින් හැලෙයි (තනතුරු දැරීමේ කාලසීමා නීතියත් ඉවරයි)

 2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 63

ශ්‍රී ලංකා ක‍්‍රීඩා පනතේ විවාදයට තුඩු දුන් ඇතැම් වගන්ති සංශෝධනය කරමින් ‘අංක 1990/23 දරණ හා 2016.10.27 දිනැති නව ක‍්‍රීඩා නියෝග මාලාවේ’ වයස් සීමා කොන්දේසියට එරෙහිව යුද ප‍්‍රකාශ කළ ක‍්‍රීඩා සංගම් නිලධාරීහූ පසුගිය සතියේ ජය ලැබූහ.

ජාතික ක‍්‍රීඩා සංගම්හි තනතුරැ දැරීම වයස 70ට වැඩි පුද්ගලයන්ට තහනම් කිරීමට ගත් තීරණය ලිහිල් කිරීමට ක‍්‍රීඩා අමාත්‍යංශය පියවර ගත් අතර වයස් සීමාව පිළිබඳ තීරණය කිරීමේ බලය ජාතික ක‍්‍රීඩා සංගම් වෙත පැවරීමට ක‍්‍රීඩා අමාත්‍යංශය පසුගිය සතියේ තීරණය කළේය.

නව ක‍්‍රීඩා රෙගුලාසිවලට ඇතුළත්ව තිබූ ජාතික ක‍්‍රීඩා සංගම්හි නිලධාරීන්ගේ තනතුරු දැරීමේ කාලසීමාව පිළිබඳව තීරණය කිරීමේ අයිතිය ද ජාතික ක‍්‍රීඩා සංගම් වෙත පවරා තිබේ. නව සංශෝධනවලට අනුව නිලධාරියකුට වසර හතර බැගින් අවස්ථා දෙකකදී පමණක් තනතුරු දැරීමේ අවස්ථාව තිබුණි. වයස් සීමාවේ ප‍්‍රශ්නය පිළිබඳව ඇතැම් ක‍්‍රීඩා සංගම්වල වයස 70 ඉක්මවූ නිලධාරීන් කීප දෙනකු ජාත්‍යන්තරයට පැමිණිළි කර තිබූ අතර ඒවායේ ප‍්‍රතිඵලයෙන් මෙම වෙනස සිදුවී ඇති බව වාර්තා වේ.  

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභිකයකු වන හයිඩර් මහතා සහ  ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතර පසුගියදා ශ්‍රී ලංකාවේදී පැවැති සාකච්ඡාවක ප‍්‍රතිඵලයක් අනුව මෙම වෙනස්කම් කර තිබේ. එම සාකච්ඡාවේදී ඔලිම්පික් කමිටු නියෝජිත හයිඩර් මහතා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය පැවැත්වීම ප‍්‍රමාද වීම පිළිබඳව දැඩි අවධානය යොමු කළ බව වාර්තා වේ. 

ඔලිම්පික් කමිටුවේ නිලවරණය ඉදිරි දින 45 ක කාලයක් ලබාගනිමින් වහාම කැඳවීමට කටයුතු කරන බව ක‍්‍රීඩා අමාත්‍යවරයා ඔලිම්පික් කමිටු නිලධාරියාට පොරොන්දු වී ඇති බව වාර්තා වේ. 

නව ගැසට් පත‍්‍රය සිංහල භාෂාවට පරිවර්තනය කරන විට ඇති වූ දෝෂ හේතුවෙන් මේ වන විට එය නැවතත් සංශෝධනය කිරීමට කටයුතු කරමින් සිටින බව ද පසුගියදා වාර්තා විය.  මෙහි දේශපාලනඥයින් ක‍්‍රීඩා සංගම්වල තනතුරු දැරීමට වැට බැදීමේ චේතනාවෙන් වචන ගොන්නකින් යුත් දීර්ඝ වගන්තියක් එකතු කර තිබුණ ද එය හුදෙක්ම වචන ගොඩක් පමණක් බව ක‍්‍රීඩා පරිපාලනයේ ඇතැම් ප‍්‍රවීණයෝ පවසති. 

ක‍්‍රීඩා පනතේ ඇතැම් වගනිත්වල අඩු පාඩු අස්සෙන් පසුගිය කාලයේ ක‍්‍රීඩා පරිපාලන නිලධාරීන් රිංගා ගිය ආකාරයට  ඕනෑ තරම් උදාහරණ තිබේ. ඒ පිළිබඳව අවධානය යොමු කිරීමේදී නව ක‍්‍රීඩා සංශෝධනවල දේශපාලනඥයින් සම්බන්ධයෙන් පවතින වගන්තිය පහසුවෙන් රිංගා යා හැකි බවට ප‍්‍රවීණයෝ පවසති. 

මෙම ගැසට් නිවේදනය මාධ්‍යයට ඉදිරිපත් කරමින් ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ සියලුම ක‍්‍රීඩා සංගම් මාසයක් ඇතුළත අති විශේෂ මහ සභාවක් පවත්වා ක‍්‍රීඩා පනතේ නව සංශෝධන එම සංගම්වල ව්‍යවස්ථාවට ඇතුළත්කර ක‍්‍රීඩා අමාත්‍යංශයට යොමු කළ යුතු බවයි. ක‍්‍රීඩා අමාත්‍යවරයා ඒ පිළිබඳව ක‍්‍රීඩා සංගම්වලට දැනුම්දී මාස දෙකක් සම්පූර්ණ වීමට ආසන්න වුවද එම කාර්යය ක‍්‍රීඩා සංගම් ඉටුකර ඇතැයි ද යන්න පිළිබඳව මේ වන විට ගැටලු මතුවී තිබේ. 

ශ්‍රී ලංකා මෝටර් රථ ක‍්‍රීඩා සංගමයේ නිලවරණය පැවැත්වීමට සූදානම් වුවද ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝගයෙන් එය නතර කර තිබේ. එම නිලවරණයට නුසුදුසු පුද්ගලයන් ඉදිරිපත් වන බවට ලැබුණු පැමිණිලි අනුව ක‍්‍රීඩා අමාත්‍යවරයා එය අත්හිටුවා ඇති බව ද වාර්තා වේ.  ක‍්‍රීඩා අමාත්‍යවරයා පසුගිය දිනක පාර්ලිමේන්තු සංකීර්ණයේදී ක‍්‍රීඩා සංගම් නියෝජතයන් හමුවූ බව ද දැනගන්නට තිබේ. 

ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ සිදුවන ඇතැම් දේ පිළිබඳව අවධානය යොමු කිරීමේදී ක‍්‍රීඩා නීතිය පිළිබඳව උද්ගතවී ඇති ගැටලුකාරී තත්ත්වය කවදා අවසන් වේ යැයි කිසිවකුට කිව නොහැක. 

♦ වරකාගොඩ ගමගේ

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00