2017 ජුලි 15 වන සෙනසුරාදා

ලෝක කුසලාන තරගාවලිය: 2019 - ශ්‍රී ලංකා පිල අවදානමක

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 127

සිම්බාබ්වේ හමුවේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල ලැබූ 3x2 ක ඉතිහාසගත එක්දින තරගාවලි පරාජයත් සමඟ 2019 වසරේ එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට කෙළින්ම සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකා අවස්ථාව තරමක අවදානම් තත්ත්වයකට පත්ව තිබේ. මෙම වසරේ සැප්තැම්බර් මස 30 වැනිදා වනවිට එක්දින ක‍්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානය දක්වා කණ්ඩායම් නිරායාසයෙන්ම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන අතර සෙසු කණ්ඩායම් දෙක තෝරා ගැනීම සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් පැවැත්වේ.

සිම්බාබ්වේ තරගාවලි පරාජයත් සමඟ ශ්‍රී ලංකාවට ප‍්‍රසාද ලකුණු 5 ක් අහිමිවිය. 

ශ්‍රී ලංකාව මේ වනවිට ප‍්‍රසාද ලකුණු 88 ක් ලබා 8 වැනි ස්ථානයේ සිටින අතර බටහිර ඉන්දීය කොදෙව් පිල ප‍්‍රසාද ලකුණු 78 ක් ලබා 9 වැනි ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකාව සහ කොදෙව් අතර පරතරය ප‍්‍රසාද ලකුණු 10කි. සිම්බාබ්වේට එරෙහිව තරගාවලිය ආරම්භ වන විට ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 93 ක් ලබා ප‍්‍රසාද ලකුණු 16 ක් ඉදිරියෙන් සිටියේය. 

කොදෙව් පිල ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලියේ සිවුවැනි තරගය ජය ලැබීමෙන් ප‍්‍රසාද ලකුණක් හිමිකර ගත්තේය. සිම්බාබ්වේ පිල ශ්‍රී ලංකාව පරාජය කරමින් ප‍්‍රසාද ලකුණු 6 ක් හිමිකර ගත්තේය. බටහිර ඉන්දීය කොදෙව් පිල ඉදිරියේදී එංගලන්තයට එරෙහිව එක්දින තරග 5 කට සහ අයර්ලන්තයට එරෙහිව එක්දින තරගයකට සහභාගි වීමට නියමිතය. 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය ලබන අගෝස්තු මස 20 වැනිදා දඹුල්ලේදී ආරම්භ වීමට නියමිතය. 

කොදෙව් පිල එංගලන්තය සහ අයර්ලන්තය පරාජය කළහොත් ඔවුන්ගේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 10 කට ආසන්න සංඛ්‍යාවකින් වැඩි වන අතර ශ්‍රී ලංකා පිල ඉන්දියාව හමුවේ දැවැන්ත පරාජයක් ලැබුවහොත් ශ්‍රී ලංකා ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 4 කින් හෝ 5 කින් අඩු වේ. එසේ වුවහොත් ශ්‍රී ලංකාව 9 වැනි ස්ථානයට වැටීම වැළැක්විය නොහැක.

මෙහි බරපතළම තත්ත්වය බවට පත්ව ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් ඔවුන්ගේ කණ්ඩායම හැර ගිය ක‍්‍රිස් ගේල් වැනි ප‍්‍රබල ක‍්‍රීඩකයන් කණ්ඩායමට ගෙන ඒමට සූදානම් වීමයි. ක‍්‍රිස් ගේල් වසරකට වැඩි කාලයකට පසුව පසුගියදා ඉන්දියාවට එරෙහිව විස්සයි20 තරගාවලියට ක‍්‍රීඩා කළේය. එම තරගයේදී කොදෙව් පිල ලකුණු 191 ක් හඹාගොස් ජය ලැබූ අතර ක‍්‍රිස් ගේල් ලකුණු 18 ක් රැස් කළේය. එංගලන්ත තරගාවලියට කොදෙව් පිල අතහැර ගිය ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැසක් සහභාගි වනු ඇතැයි විශ්වාස කෙරේ.

 සටහන: භාසුර