2017 ජුලි 08 වන සෙනසුරාදා

තේරීම් කමිටුවේ ක්‍රීඩකයන් ඇනිල්ල

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 181

එයා මේ දවස්වල හොඳට ගහනවා සහ එයා මේ දවස්වල හොඳට බෝල් කරනවා යැයි ඇතැමුන් තේරීම් කමිටු සාමාජිකයන්ට ප‍්‍රකාශ කරන බව වාර්තා වේ. එවිට තේරීම් කමිටුව එම ප‍්‍රකාශ මත අදාළ ක‍්‍රීඩකයන් සංචිතයට ගෙන එයි.  

සිම්බාබ්වේ වැනි ශ්‍රේණිගත කිරීමේ අඩියේ සිටින රටක් ගෙදරටම පැමිණ ශ්‍රී ලංකා පිල පරාජය කිරීමේ වගකීම් තේරීම් කමිටුව බාරගත යුතුය. ‘ශූරයන් කුසලාන’ තරගාවලියේ අසාර්ථකත්වයත් සමඟ වැටී සිටි ශ්‍රී ලංකා පිල ශක්තිමත් කරනවා වෙනුවට තේරීම් කමිටුව කණ්ඩායම දුර්වල කිරීමට පියවර ගෙන තිබුණි.

පළමු තරග තුන ජය ලබා කණ්ඩායම දුර්වල කළේ නම් එහි වරදක් කිව නොහැක. කෙසේ වෙතත් තේරීම් කමිටුව පළමුව කළ යුතු දේ පටලවා ගැනීමෙන් මෙම තත්ත්වය උද්ගත විය. පළමු තරගයේ පරාජයෙන් පසුව සුරංග ලක්මාල් සහ චාමර කපුගෙදර කැඳවීමෙන් වැරදී ඇත්තේ කාටද යන්න මනාව පැහැදිළි වේ. 

තරුණ ක‍්‍රීඩකයන් සංචිතයට ඇතුළත් කරන්නේ නම් අකිල ධනංජය සහ වනිඳු හසරංග යන ක‍්‍රීඩකයන්ට පෙර ඇතුළත් කළ යුතු ක‍්‍රීඩකයෝ රැසක් සිටිති. අවිෂ්ක ප‍්‍රනාන්දු, සම්මු අෂාන්, සදීර සමරවික‍්‍රම සහ චරිත් අසලංක යන ක‍්‍රීඩකයෝ සංචිතයට ඇතුළත් විය යුතුව තිබුණ ද එවැනි දෙයක් සිදුවූයේ නැත.

තේරීම් කමිටුවේ වර්තමාන ක‍්‍රියාකලාපය තරුණ දක්‍ෂ ක‍්‍රීඩකයන් විනාශ කරන බවට පුහුණුකරුවෝ චෝදනා කරති. ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ද ඇතුළත් නොකළ අකිල ධනංජය සහ අමිල අපෝන්සු එකවරම ජාතික කණ්ඩායමට ගෙන ඒමට ප‍්‍රදර්ශනය කළ විශේෂ දස්කමක් නොමැත. එසේ නම් ජෙෆ්රි වැන්ඩසේ දඟපන්දු යවන්නකු ලෙස සංචිතයට ගෙන ඒමට සාධාරණ හේතු තිබේ. 

වර්තමානයේ ජාතික කණ්ඩායමට ඇතුළත් වන විශේෂ ක‍්‍රමයක් ඇති බව ක්ෂේත‍්‍රයේ කථාබහට ලක්වෙයි. එනම් කිසියම් පුහුණුකරුවකු හෝ නිලධාරියකු සිදුකරන ප‍්‍රකාශයක් මත ක‍්‍රීඩකයන් සංචිතයට ගෙන ඒමය.

අංසක ගුරුසිංහ මහතා කළමණාකරු සහ තේරීම් කමිටු සාමාජිකයා බවට පත්වීමෙන් පසුව ක‍්‍රීඩකයන්ගේ අදහස්වලට ඇහුම්කම් නොදෙන තත්ත්වයක් උද්ගත වී ඇති බවද වාර්තාවේ.

ක‍්‍රීඩකයකු කිසියම් අවශ්‍යතාවකට ගුරුසිංහ මහතාගේ දුරකථනයට ඇමතුවද ඔහු ප‍්‍රතිචාර නොදක්වන බවත් කෙටි පණිවුඩයක් පමණක් යොමු කරන බවත් දැනගන්නට තිබේ. ක‍්‍රිකට් ලොක්කන්ගේ බලරැස් ඇතිව තනතුරුවට පත්වන නිලධාරීන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකි බව ක‍්‍රීඩකයෝ පවසති.  

 වරකාගොඩ ගමගේ