2017 ජුනි 03 වන සෙනසුරාදා

ශූරයන්ගේ කුසලාන ඇරඹේ / ශ්‍රී ලංකාව අසීරු මාවතක

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 96

එංගලන්තයේදී පසුගිය බ‍්‍රහස්පතින්දා ආරම්භ වූ ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකම පරාජයට පත්ව මානසික කඩා වැටීමට පත්ව සිටිනවාට සැක නැත. නවසීලන්තයට එරෙහිව පසුගිය අඟහරැවාදා පැවැති දෙවැනි පුහුණු තරගයෙන්ද ශ්‍රී ලංකා පිල කඩුලු 6 ක දැවැන්ත පරාජයක් ලැබීම වඩාත් කැපී පෙනෙන සිද්ධිය බවට පත්ව තිබේ. 

ශ්‍රී ලංකා පිල ලබන බ‍්‍රහස්පතින්දා (08 වැනිදා) ඉන්දියාවට එරෙහිව දෙවැනි තරගයට සහභාගි වීමට නියමිතව සිටී. ශ්‍රී ලංකා පිල ඊයේ (03) පළමු තරගයේදී දකුණු අප‍්‍රිකාව මුණගැසීමට සූදානමින් සිටියේය. 
ශ්‍රී ලංකාව පසුගිය කාලයේ දකුණු අප‍්‍රිකාව සහ ඉන්දියාව හමුවේ දැඩි පසු බෑමට ලක්ව සිටීම මෙම තරගාවලියට හොඳ මානසික තත්ත්වයකින් පැමිණීමට බාධාවක් වී තිබේ.  ශ්‍රී ලංකා පිල මෙම වසර මුලදී දකුණු අප‍්‍රිකාව හමුවේ 5x0 ක එක්දින තරගාවලි පරාජයක් ලැබූ අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති අවසන් එක්දින තරග 15 න් 12 ක් ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබේ. 

නවසීලන්තයට එරෙහිව පැවැති පුහුණු තරගයේදී ආරම්භක පිතිකරු උපුල් තරංග ලකුණු 110 ක් රුස්කරමින් ලකුණු අතරට පැමිණී සුබ පෙරනිමිත්තක් බවට පත්විය. කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් අර්ධ ශතක රැස්කරමින් ලකුණු අතරට පැමිණීමද අස්වැසිල්ලකි. එහිදී ශ්‍රී ලංකා පිල  ඕවර 50 දී ලකුණු 356 ක් රැස්කළ ද එය රැකගැනීමට පන්දු යවන්නන් අපොහොසත් වීම කැපී පෙනුණි.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුව මැජික්කරු යැයි පැවසූ චයිනමන් පන්දු යවන ලක්‍ෂාන් සඳකැන් යැවූ  ඕවර 9දී ලකුණු 80 ක් රැස්කිරීමට නවසීලන්ත පිතිකරුවෝ සමත් වූහ.
දෙවැනි තරගයට ලසිත් මාලිංග සහ නායක ඇන්ජලෝ මැතිව්ස් සහභාගි නොවූහ. ආබාධය සුව අතට පත්වෙමින් සිටින ලසිත් මාලිංග පළමු පුහුණු තරගයේදී  ඕවර 8 ක් යවමින් ලකුණු 32 කට මැතිව් වේඩ්ගේ කඩුල්ල දවා ගත්තේය. ශ්‍රී ලංකා පිල පසුගිය ඉරිදා  ඕස්ට්‍රේලියාවට එරෙහිව සහභාගි වූ පළමු පුහුණු තරගයේදී ලකුණු 318 ක් රැස්කළ ද කඩුලු 2 කින් පරාජයට පත්විය. එහිදී නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 95 ක් රුස්කළේය. 
පුහුණු තරග දෙකේදී නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ අතර කුසල් ජනිත්ට ස්ථානය අහිමිවිය. පළමු තරගයේදී තරංග පන්දු 19 කින් ලකුණු 13 ක් රැස් කළේය. කෙසේ වෙතත් කුසල් ජනිත් දෙවැනි තරගයේදී අංක හය පිතිකරු ලෙස පන්දුවට පහර දෙමින් පන්දු 28 කින් ලකුණු 38 ක් රැස් කළේය. 

පුහුණු තරග දෙකේ ප‍්‍රතිඵලය දෙස බැලීමේදී නිසි දඟපන්දු යවන්නන් මෙම සංචිතයට ඇතුළත්කර තිබේද යන ගැටලුව මතු වන අතර තරගාවලියේ ඉදිරියට යනවිට එය තවදුරටත් සනාථවීමට ඉඩ තිබේ. 

 යොහාන් භාසුර

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00