2017 මැයි 20 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට ලෝක සංගමයෙන් රෙඩ් කාඩ්

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 79

ශ‍්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ, අන්තර්ජාතික බැඩ්මින්ටන් සංගම් සාමාජිකත්වය නැවතත් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ. ක‍්‍රීඩා අමාත්‍යවරයා පත්කළ කමිටුවකින් බැඩ්මින්ටන් පරිපාලනය පවත්වාගෙන යෑමත් ක‍්‍රීඩා අමාත්‍යංශයේ පූර්ණ මැදිහත්වීමෙන් නිලවරණයක් කැඳවීමත් යන කරුණු දෙකට ලෝක බැඩ්මින්ටන් විරෝධය පළ කරමින් ශ‍්‍රී ලංකාවට ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වේ. 

ලෝක බැඩ්මින්ටන් සංගමය සෑහීමකට පත්වන විසඳුමක් නොලැබුණහොත් ශ‍්‍රී ලංකා සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරීමේ අවදානමක් ඇති බව බැඩ්මිටන් පරිපාලනයේ ඇතැම් ප‍්‍රවීණ නිලධාරීහු පවසති. ලෝක බැඩ්මින්ටන් සංගමය මේ සඳහා ලබන ජූනි මස 15 වැනිදා දක්වා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා පරිපාලනයට කාලය ලබාදී ඇති බවද දැනගන්නට තිබේ. 

බැඩ්මින්ටන් සංගමයේ පසුගිය මාර්තු මස පැවැති නිලවරණයට විගණනය කළ මූල්‍ය වාර්තා ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එම නිලවරණය අවලංගු කර කමිටුවක් පත් කළේය. ක‍්‍රීඩා අමාත්‍යංශ පාර්ශවයෙන් පැවැති නිලවරණය අවලංගු කිරීමට හේතු වූ කරුණු හරිහැටි ලෝක සංගමයට පහදා දීමට අපොහොසත් වී ඇති බවට ද ඇතැම්හු චෝදනා කරති.
ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ලෝක බැඩ්මින්ටන් තරගාවලියට සමගාමීව මේ මස 20 වැනිදා ලෝක බැඩ්මින්ටන් සංගමයේ වාර්ෂික මහ සභාව සහ නිලවරණය පැවැත්වීමට නියමිතය. එහිදී ඇතැම් විට ශ‍්‍රී ලංකාවේ ගැටලුව පිළිබඳව සාකච්ඡා වීමට ඉඩ තිබුණි. 

මෙම සමුළුවට ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතා සහභාගි වීම ගැටලු මතුකරන සිද්ධියකි. මෙහිදී ඒ මහතා විසුරුවා හැරි නිලධාරී මණ්ඩලයේ සාමාජිකයකු බව ලෝක සංගමයට දැනුම්දී ඇති බව ද වාර්තා වේ. 
මෙම තත්ත්වය හමුවේ විසිරුවා හැරි නිලධාරී මණ්ඩලයේ සභාපති නිශාන්ත ජයසිංහ මහතාට හෝ සමන් බණ්ඩාර මහතාට මහ සභාවේදී අදහස් දැක්වීමේ අවස්ථාව ලැබේද නැද්ද යන්න අවිනිශ්චිතව පැවතුණි.    
ශ‍්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ මෙම වසරේ පැවැත්වෙන දෙවැනි නිලවරණය ලබන ජූනි මස 13 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා වන නාමයෝජනා බාර ගැනීම පසුගිය අඟහරුවාදා (16) අවසන් විය. එදින මධ්‍යාහන 12.00 යේ සිට පස්වරු 4.00 දක්වා විරෝධතා සළකා බැලීමට නියමිතව තිබුණි.

විසුරුවා හැරි නිලධාරී මණ්ඩලයේ ප‍්‍රබලතම නිලයකට පත්වූ පුද්ගලයකු ක‍්‍රීඩා භාණ්ඩ අ‍ලෙවි කරන සමාගමක් පවත්වාගෙන යන බවට චෝදනා එල්ල වී තිබුණි. ඔහු නැවත නිලවරණයට ඉදිරිපත් වුවහොත් ඔහුට එරෙහිව විරෝධතා ගොනු කිරීමට තවත් පාර්ශවයක් සූදානමින් සිටියේය. 

අදාළ පුද්ගලයා ඔහුගේ සමාගමට ක‍්‍රීඩා භාණ්ඩ අලෙවි කිරීමට බදු සහන ලබාදෙන ලෙස ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් ඉල්ලීම් කළ ලිපියක් විරෝධතාවට ඇතුළත් කිරීමට සූදානම්ව තිබූ බව ද වාර්තා විය. 

පාපන්දුවේ ගැටුමත් උග්‍රවෙයි

මේ අතර බල අරගලය හේතුවෙන් ශ‍්‍රී ලංකා පාපන්දු ක‍්‍රීඩාව දැඩි කඩා වැටීමට පත්වන තත්ත්වයක් උදාවී තිබේ. ඉදිරි නිලවරණයේදී බලය ලබා ගැනීමට පාර්ශව දෙකක් අතර පවතින දැඩි අරගලය හේතුවෙන් පාපන්දු සම්මේලන විධායක කමිටුව රැස්කිරීමට නොහැකි වීමෙන් තරගාවලිය සඳහා කණ්ඩායම් සහභාගිත්වය ද අවිනිශ්චිත වී තිබේ.
ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක සභාවක් පසුගිය වසරේ නොවැම්බර් මාසයෙන් පසුව සාර්ථකව පැවැත්වීමට නොහැකි වී ඇති අතර විධායක කමිටුව රැස්කරන ලෙස එහි විධායක සභිකයෝ පසුගියදා සභාපතිවරයාගෙන් සහ ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටියහ. 

ආසියානු පාපන්දු සම්මේලන සුදුසුකම් ලැබීමේ තරගාවලි දෙකක් ලබන ජූලි මස පැවැත්වීමට නියමිතව තිබුණ ද ඒ සඳහා අවම වශයෙන් සංචිත හෝ කැඳවා නොමැති බව දැනගන්නට තිබේ. 
ශ‍්‍රී ලංකාව එම තරගාවලිවලට කණ්ඩායම් ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් එක් තරගාවලියකට ඩොලර් 10,000 ක් හෙවත් රුපියල් 1,520,000 ක දඩය බැගින් හෝ වෙනත් දඬුවමකට යටත්වීමට සිදුවේ.
ශ‍්‍රී ලංකාවේ පාපන්දු සහ බැඩ්මින්ටන් ක‍්‍රීඩාවලට ආදාරය කරන නිලධාරීන් මෙතරම් සිටී නම් එම ක‍්‍රීඩා ලෝකයේ ඉහළ තිබිය යුතුය. නමුත් මෙම ක‍්‍රීඩා දෙකම ආසියානු මට්ටමේ ද ඉතාමත් පහළ මට්ටමක පවතී. 

 යොහාන්

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00