2017 මැයි 06 වන සෙනසුරාදා

ඔක්කොම නිලවරණ ෙම් මාෙස් : බැරි අයට ඇමැතිගෙන් දොස්

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 65

ශ‍්‍රී ලංකාවේ සියලුම ක‍්‍රීඩා සංගම් මේ මස 31 වැනිදාට පෙර නිලවරණ පවත්වා අවසන් කරන ලෙස ක‍්‍රීඩා අමාත්‍යංශය දන්වා තිබියදී ශ‍්‍රී ලංකා පාපැදි සම්මේලනය නිලවරණය සඳහා කිසිදු පියවරක් නොගෙන සිටීම පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එම සංගමයේ ප‍්‍රධාන නිලධාරීන්ට ප‍්‍රසිද්ධියේ දොස් නඟා ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය හමුවේ ඉදිරියේදී ශ‍්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පරිපාලනයට අතුරු කමිටුවක් පත්කිරීමටද ක‍්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කිරීමට ඉඩ තිබේ. 

ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් සියලුම ක‍්‍රීඩා සංගම්වල නිලධාරීන් කැඳවා සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී පාපැදි සම්මේලනයේ නිලධාරියාට අමාත්‍යවරයා දැඩිව දොස් නඟා තිබේ. එහිදී අමාත්‍යවරයා අදාළ නිලධාරියාට ලුණු ඇඹුල් ඇතිව චෝදනා කළ බව වාර්තා වේ.  

මෙම නිලධාරීන් වැඩ නොකිරීම හේතුවෙන් ශ‍්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සාමාජිකත්වය තහනම් කිරීමට පියවර ගන්නා ලෙසද එහිදී ක‍්‍රීඩා අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන් බවද වාර්තා වේ. 

ශ‍්‍රී ලංකා පාපැදි සම්මේලනයේ වර්තමාන ප‍්‍රධානියාගේ පාලන කාලය තුළ පාපැදි ක‍්‍රීඩාව කබලෙන් ලිපට වැටුණු බවටද පාපැදි ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෝ චෝදනා කරති. තවද අදාළ ප‍්‍රධානියා ඔහුගේ වාසියට පමණක් කටයුතු කරන බවට ද විවේචන තිබේ. 

මෙවර නිලවරණ අතර ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයට ප‍්‍රධාන තැනක් හිමිවී තිබේ. මෙවර පාපන්දු නිලවරණය මීට පෙර අඹ යහළුවන්ව සිට මෑතකදී විරකයකට පත්වූ පාර්ශව දෙකක් අතර පැවැත්වීම මෙම උණුසුමට හේතු වී තිබේ. 

එම විරසකයේ ප‍්‍රතිඵලයක් ලෙස එහි මූල්‍ය කමිටු සභාපති දූරයෙන් රංජිත් රුද්‍රිගු මහතා එළවා දැමීමට සභාපති අනුර ද සිල්වා මහතා පසුගියදා විශේෂ විධායක කමිටු රැස්වීමක් කැඳවා තිබු අතර එම රුස්වීම ආරම්භ වීමටත් පෙර එල්ල වූ විරෝධය හේතුවෙන් හකුලා ගැනීමට සිදු වී තිබිණි. 

එහිදී රංජිත් රුද්‍රිගු මහතාගේ පාර්ශවයේ විධායක කමිටු සාමාජිකයෝ ඔහුට එරෙහිව ඉදිරිපත් කිරීමට සූදානම් වන යෝජනාවට එරෙහිව රැස්වීම ආරම්භ වීමට පෙර විරෝධය දැක්වීම හේතුවෙන් රැස්වීමට පැවැත්වීමට නොහැකි වූ බව වාර්තා වේ. 

මෙම සිද්ධිය පිළිබඳව පාපන්දු ලොක්කෙකු ක‍්‍රීඩා අමාත්‍යාවරයාට පැමිණිළි කර ඇති අතර එහිදී අමාත්‍යවරයා ඔහුගේ පැමිණිල්ල ප‍්‍රතික්‍ෂේප කර ඇති බව වාර්තාවේ. එහිදී අමාත්‍යවරයා අදාළ ලොක්කාට ඇහුම්කන් නොදුන් බව දැනගන්නට තිබේ. 

ඉදිරි සති දෙක තුන තුළ ප‍්‍රධාන ක‍්‍රීඩා සංගම් රැසක නිලවරණ පැවැත්වීමට නියමිතව තිබීම හේතුවෙන් ඉදිරියේදී ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය තවත් උණුසුම්වනු ඇතැයි බොහෝ දෙනා පවසති. 

ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය සහ ශ‍්‍රී ලංකා දැල්පන්දු සංගමය යන සදාතනික බල අරගලයක් පවතින ක‍්‍රීඩා සංගම්වල නිලවරණ ද ඉදිරියේදී පැවැත්වීමට නියමිතය. ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් අවලංගු කරන ලද ශ‍්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලවරණයද ඉදිරියේදී පැවැත්වේ. 

 සටහන: යොහාන් භාසුර

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00