2017 මැයි 06 වන සෙනසුරාදා

ඇලන් ඩොනල්ඩ්ගෙන් වැඩගන්න සූදානම්ද?

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 116

එංගලන්තයේදී පැවැත්වෙන අයි.සී.සී. ‘ශූරයන්ගේ කුසලාන’ එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ වේග පන්දු යවන්නන්ගේ උපදේශකයා ලෙස දකුණු අප‍්‍රිකානු හිටපු සුපිරි වේග පන්දු යවන්නකු වන ඇලන් ඩොනල්ඩ් මහතා පත්කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

ඩොනල්ඩ් මහතාගේ පත්වීමත් සමඟ එම තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරීන් සංඛ්‍යාව 9ක් දක්වා ඉහළ ගියේය. එයට තරගාවලියේ කළමනාකරු ලෙස රංජිත් ප‍්‍රනාන්දු මහතාද, කණ්ඩායම කළමනාකරු ලෙස අසංක ගුරුසිංහ මහතා ද ඇතුළත්ව සිටිති.  

මෙම පත්කිරීමද වර්තමාන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලකයන්ගේ සෙසු පත්කිරීම් මෙන් ‘සුදු අලියකු’ බවට පත්වේදැයි සැකයක් මතුවේ. කෙසේ වුවද ඇලන් ඩොනල්ඩ් යනු වඩාත් ක‍්‍රියාශීලි පුහුණුකරුවකු යැයි පිළිගැනීමක් තිබේ. ශ‍්‍රී ලංකා පිල පසුගිය බ‍්‍රහස්පතින්දා, කොළඹ ආර්. ෙප්‍ර්මදාස ක‍්‍රීඩාංගණයේදී පුහුණුවීම් ආරම්භ කළ අතර එම පුහුණු සැසියට ක‍්‍රීඩකයන් 22 ටම සහභාගි වන ලෙස දන්වා තිබූ බව වාර්තා වේ. 

අයි.පී.එල්. තරගාවලියට සහභාගි වී සිටින නායක ඇන්ජලෝ මැතිව්ස් සහ ආබධයකට ලක්ව සිටින ලසිත් මාලිංග එම පුහුණු සැසියට සහභාගි නොවූහ. අසේල ගුණරත්න පසුගිය සතියේ නැවත ශ‍්‍රී ලංකාවට පැමිණියේය. ආබාධයන්ට ලක්ව සිටින නුවන් කුලසේකර, චාමර කපුගෙදර, කුසල් ජනිත් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල ද සුවය ලබා පුහුණු සැසියට සහභාගි වූහ. 

පල්ලෙකැලේදී මේ මස 9 වැනිදා ආරම්භ වන විශේෂ පුහුණු සැසියට ද සියලුම ක‍්‍රීඩකයන් සහභාගි විය යුතු බවට දැනුම්දී තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසුවේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට විශේෂ පුහුණු සැසියට සහභාගි වීම සඳහා නැවතත් පැමිණෙන ලෙස දැනුම්දී තිබෙන බවයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ක‍්‍රිකට් සභාපතිවරයා පැවසුවේ මාලිංග අයි.පී.එල්. ක‍්‍රීඩා කිරීම ශ්‍රී ලංකාවට වාසිසහගත බවයි. 

මෙම සියලුම දේවල් අතරතුර ක‍්‍රිකට් ලොක්කෝ බලය තහවුරුකර ගැනීම සඳහා ද පසුගිය සතියේ කටයුතු කරමින් සිටියහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ක‍්‍රිකට් ලොක්කෙකුගේ දකුණු අත බඳු යැයි කියන නිලධාරියකු විධායක කමිටුවට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණි.

විධායක කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කරමින් සිටි ලොක්කාගේ වම් අත යැයි කියන නිලධාරියාට ක‍්‍රිකට් ආයතනයේ වඩාත් වැදගත් තනතුරක් පැවරිණි.  තවද ‘ජයන්ත’ සහ ‘තිලංග’ යන පාර්ශව දෙක අතර ගැටලුවක් නොමැති බවට ප‍්‍රදර්ශනයට කිරීමට උප සභාපතිවරයකු වන ජයන්ත ධර්මදාස මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප‍්‍රදර්ශනයට තබා තිබුණි.   

I සටහන: වරකාගොඩ ගමගේ