2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

අාසියානු මලල ක්‍රීඩා සිහින සුන්

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 137

සුසන්තිකාලාගේ යුගයක් කවදා එයිද?

ශ්‍රී ලංකාවේ මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට පුහුණුවීමට ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුත් ක‍්‍රීඩාංගණයක් නැත. එවැනි වාතාවරණයක් තුළ ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ආසියානු පදක්කමක් දිනාගැනීම වඩාත් අගය කළ යුතුය. ශ්‍රී ලංකාවේ එකම කෘත‍්‍රිම ධාවන පථය වන කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේ ධාවන පථය දේශපාලන සෝදාපාළුවට ලක්ව දැන් වසර කීපයක් ගත වී අවසන්ය. 

සුගතදාස ක‍්‍රීඩාගංණයේ කෘත‍්‍රිම ධාවන පථය එළා වසරක් හෝ පාවිච්චි කිරීමට නොහැකිවූ සිද්ධියේදී ‘ලාභ බඩුවෙ හිලක් තිබේ’ යැයි ජනවහරයේ ඇති කියමන මතකයට නැගේ. එම ජාතික අපරාදයේ වගකීම බාර ගැනීමට අද කිසිවකු නැත. 

වර්තමාන ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ මැදිහත් වීමෙන් පසුගිය වසරේ සුගතදාස ක‍්‍රීඩාගංණයේ කෘත‍්‍රිම ධාවන පථය නැවත එලීම සඳහා ටෙන්ඩර් කැඳවූ අතර එහි සිදුවූ මගඩියක් හේතුවෙන් එය අවලංගු කිරීමට සිදුවිය.
ඒ සඳහා මේ වන විට නැවතත් ටෙන්ඩර් කැඳවා අවසන් කර ඇති අතර එහි ප‍්‍රගතිය පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍යංශය පැහැදිලි කිරීම අවශ්‍යය. 

චීනයේදී දැන් පැවැත්වෙන ආසියානු ගොන් ප‍්‍රී මලල ක‍්‍රීඩා තරගාවලියේ ජින්හුවාහිදී පසුගිය සඳුදා පැවැති පළමු අදියර තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රන්, රිදී සහ ලෝකඩ පදක්කම බැගින් පදක්කම් තුනක් දිනා ගැනීමට සමත් වූහ.  

එහිදී ශ්‍රී ලංකාවට එකම රන් පදක්කම ගෙන ඒමට ඉඳුනිල් හේරත් සමත් විය. ඉඳුනිල් මීටර 800 පිරිමි ඉසව්ව විනාඩි 1:50.69 කින් අවසන් කළේය. ඉඳුනිල් එම ජයග‍්‍රහණයෙන් පසුව පුහුණුවීම් සඳහා ක‍්‍රීඩාංගණයක් නොමැතිවීම සම්බන්ධයෙන් කතාකර තිබුණි. චීනයේ අති නවීන ධාවන පථවල ධාවනයේ යෙදෙන විට ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකාවේ අඩුව දැනීම සාමාන්‍ය තත්ත්වයකි. 

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවේ රන් පදක්කම් බලාපොරොත්තුවක් වූ හිමාෂ ඒෂාන් මීටර 100 පිරිමි ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගත්තේය. එහිදී හිමාෂ තත්පර 10.43ක කාලයක් වාර්තා කළේය. ඔහු ජැමෙයිකාවේ පුහුණුවෙන් පසුව සහභාගි වූ පළමු තරගය මෙය වන අතර බ‍්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි අදියරේදී රන් පදක්කම දිනා ගැනීමට බලාපොරොත්තු වන බව හිමාෂ පවසා තිබුණි.

මෙහිදී හිමාෂ චීන ක‍්‍රීඩකයකුට දෙවැනි වූ අතර රන් පදක්කම දිනාගත් චීන ක‍්‍රීඩකයා තත්පර 10.37කින් තරගය අවසන් කළේය. 

ගයන්තිකා අබේරත්න මීටර 800 කාන්තා ඉසව්ව විනාඩි 2:03.78කින් අවසන් කරමින් තෙවැනි ස්ථානයට පත්ව ලෝකඩ පදක්කම හිමිකර ගත්තාය.

අනූව දශකයේදී සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශ, සුගත් තිලකරත්න සහ රොහාන් ප‍්‍රදීප් කුමාර යන ක‍්‍රීඩකයෝ කෙටි දුර ධාවන ඉසව්වලින් ආසියානු ධාවන පථය දෙවනත් කිරීමට සමත් වූහ. 

ශ්‍රී ලංකාව තුළ දස්කම් ඇති මළල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් අඩුවක් නම් නොමැත. එය කළමනාකරණය කිරීමට බලධාරීන් නොමැති වීම අවාසනාවන්ත තත්ත්වකි. 

මළල ක‍්‍රීඩා නිලවරණයේදී තනතුරුවට පත්වීමට දක්වන උනන්දුව නිලධාරීන් ක‍්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් දස්වන්නේ නම් ශ්‍රී ලංකාවට නැවතත් සුසන්තිකාලගේ කාලයක් උදාකළ හැකිය.    

සටහන: යොහාන් භාසුර

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00