2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

පාපන්දුව ඇතුළේ සුපිරි බල අරගලයක්

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වර්තමාන නිලධාරීන් අතර නිර්මාණය වී ඇති බල අරගල හමුවේ ශ්‍රී ලංකා පාපන්දු ක‍්‍රීඩාව කබලෙන් ලිපට වැටීමේ තත්ත්වයකට පත්ව තිබේ.

පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරුන් වන රංජිත් රුද්‍රිගු සහ අනුර ද සිල්වා යන මහත්වරු අතර සභාපති ධූරයට මෙම අරගලය නිර්මාණය වී ඇති අතර තනතුර ලබාගැනීමට එම පාර්ශව දෙක  ඕනෑම දෙයක් කිරීමට සැදී පැහිදී සිටින බව කියති.

පාපන්දු සම්මේලනයේ හිටපු සුපිරි නිලධාරියකුගේ පාර්ශවයක් ද මේ වන විට නිලවරණ සටනට ඉදිරිපත්ව සිටීමෙන් ව්‍යාකූල බව වැඩි වී තිබේ.

බල අරගලයේ ප‍්‍රතිඵලයක් ලෙස පාපන්දු සම්මේලනයේ ප‍්‍රධාන අනුග‍්‍රහකයකු වූ ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම සුපිරි වෙළෙඳසල් ජාලයක් අනුග‍්‍රහයෙන් ඉවත්ව ඇති බව වාර්තා විය.

පාපන්දු සම්මේලනයේ ප‍්‍රධානතම අනුග‍්‍රහකයා වන දුරකථන සමාගමද අනුග‍්‍රහකත්වයෙන් ඉවත්වීමට සූදානම් වන බව දැනගන්නට තිබේ.

මෙම සභාපතිවරු දෙදෙනාගේ පාලන කාලයන් තුළදී ශ්‍රී ලංකා පාපන්දු ක‍්‍රීඩාවේ කිසිදු දියුණුවත් නොමැති බවත් එහි කඩා වැටීමක් පමණක් ප‍්‍රදර්ශනය වන බවත් පාපන්දු ප‍්‍රවීණයෝ පවසති.

පාපන්දු සම්මේලනය සංවිධානයෙන් දැන් පැවැත්වෙන එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියද කොට උඩට වැටෙන දිනය අද හෝ හෙට වියහැකි බව පාපන්දු ක්ෂේත‍්‍රයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

වර්තමාන ප‍්‍රධාන නිලධාරියකු අනුග‍්‍රාහක සමාගමක නිලධාරිනියක් මඟ හැරීම හේතුවෙන් එම සමාගම අනුග‍්‍රහයෙන් ඉවත්වීමට තීරණය කළ බව වාර්තා වන අතර කෙසේ වෙතත් එම සමාගම නිල වශයෙන් අනුග‍්‍රහයෙන් ඉවත් වන බව මේ දක්වා නිවේදනය කර නොමැත. 

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් සහ දේශීය අනුග‍්‍රහකයන්ගෙන් ලැබෙන මුදල් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප‍්‍රධානතම ආදායම් මාර්ග වේ. දේශීය අනුග‍්‍රහකයන්ගෙන් ලැබෙන මුදල් නොමැති වුවහොත් සම්මේලනය පොළවේ ගැසුවා මෙන් ඇද වැටෙන බව හිටපු පාපන්දු නිලධාරියෙක් ‘දේශය’ට පැවසීය.

“වර්තමාන පාලකයන්ට ක‍්‍රීඩාව රැකගැනීමට හෝ සම්මේලනය රැකගැනීමේ අවශ්‍යතාවක් නෑ. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ කෙසේ හෝ බලය ලබාගැනීමයි. ක‍්‍රීඩාව ඉදිරියට ගෙන යෑමට නම් දේශීය අනුග‍්‍රහකයන් අනිවාර්ය සාධකයක්” යැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය. 

පාපන්දු නිලවරණය ලබන ජූලි මස 01 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණද එදින පැවැත්වීම අවිනිශ්චිතය. 
මෙම නිලවරණයට ඉදිරිපත් වී සිටින පිරිස සැබෑවටම ක‍්‍රීඩාව කෙරෙහි ආදරයක් ඇති පිරිසක්ද යන්න දැන් දැන් සිදුවන ඇතැම් සිද්ධීන් සමඟ ගැටලුවක් මතුවේ. පසුගිය කාලයේ මෙම පිරිස පරිපාලනය දියත් කළ ආකාරය අනුව ක‍්‍රීඩාවට ඇති ආදරය දෝරේ ගලා ගිය බවද තතු දන්නෝ පවසති. 

මෙවර පාපන්දු නිලවරණයේ සභාපති ධූරය සඳහා හිටපු ලේකම්වරයකු වන බාලේන්ද්‍ර ඇන්තනී මහතාද තරග කිරීමට සූදානමින් සිටියි. කෙසේ වෙතත් ඒ මහතාට කොළඹ පාපන්දු ලීගයේ වසර ගණනාවක් දැරූ ලේකම් ධූරයද පසුගියදා අහිමිවිය. 

මෙම නිලවරණයේදී තමන් අනිවාර්යෙන්ම ජයග‍්‍රහණය කරන බව සුදුසුකම් පිළිබඳව ගැටලුවක් ඇති හිටපු සභාපතිවරයකු පවසන බවද වාර්තා වේ. 

මෙම සටහන මොහොත වන විට පැවැති තත්ත්වය අනුව මෙවර පාපන්දු නිලවරණය තියුණු එකක් වීමට බොහෝ දුරට ඉඩ තිබේ. එම සටනින් කවුරු ජය ගත්තද පාපන්දු ක‍්‍රීඩාවට සෙතක් වේ යැයි සිතිය නොහැක.

මෙම තත්ත්වය හමුවේ ක‍්‍රීඩා අමාත්‍යවරයා පාපන්දු ක‍්‍රීඩාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු යැයි පාපන්දු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් කියති.    

♦ සටහන: වරකාගොඩ ගමගේ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00