2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

අලුත් ක්‍රිකට් තරගාවලියෙන් ලොක්කන්ගේ ගජයන්ට කොමිස් කුට්ටි

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 156

ජාතික ක‍්‍රිකට් කණ්ඩායම අඩිය වැටී තිබුණ වර්තමාන ක‍්‍රිකට් බලධාරීන්ට වගේ වගක් නැත. බංග්ලාදේශ සංචාරය අවසන් වීමත් සමග පසුගිය ඉරිදා (09 වැනිදා) අන්තර් පළාත් තරගාවලියක් යැයි පවසමින් ප‍්‍රධාන නගර හතරක නම් යොදාගෙන මුදල් බෙදාදීමේ තරගාවලිය ඇරැඹෙන්නේ ඒ අනුවය. 

ජාතික මට්ටමේ ක‍්‍රීඩකයන් බොහෝ දෙනකුගේ පන්දු රැකීම බින්දුවට වැටී ඇති මෙවැනි අමාරු මොහොතක ක‍්‍රීඩකයන් 60ක් කණ්ඩායමට හතරකට බෙදා තරග පැවැත්වීමෙන් ප‍්‍රයෝජනය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ප්‍රයෝජනයක් ඇති දැයි ප්‍රශ්නයකි. 

වර්තමාන ක‍්‍රිකට් පාලකයන්ට ඡන්දය ලබාදුන් ක‍්‍රීඩා සමාජවල එහෙයින්ට විවිධ ආකාරයෙන් මුදල් හම්බ කිරීමට මෙවැනි තරගාවලි ඉල්ලම් බවට පත්වී තිබේ. කෑම පැකට්ටුවේ සිට ක‍්‍රීඩාංගණ සේවයට යොදා ගන්නා සේවකයාගෙන් පවා කොමිස් කන ඇතැම් ක‍්‍රිකට් නිලධාරීන්ට මෙවැනි තරගාවලිය කොතරම් වටින්නේද යන්න බොහෝ දෙනකු නොදන්නවා විය හැකිය. 

ක‍්‍රීඩාංගණ වෙන්කිරීම, ක‍්‍රීඩකයන් සහ නිලධාරීන්ට ආහාර සැපයීම සහ හෝටල් කාමර වෙන්කිරීම සහ ප‍්‍රවාහන පහසුකම් සඳහා වාහන සැපයීම මෙකී නොකී පැටවු ගහන වියදම් සඳහා ක‍්‍රිකට් ආයතනයෙන් මුදල් වෙන් වේ. 

මෙම සියලුම මුදල් ගෙවීම් වන පහසුකම් සැළසීමේ කොන්ත‍්‍රාත්තු වර්තමාන පාලකයන්ට ඡන්දය දුන් සහ පුටුවට ඒමට උදව් කළ පුද්ගලයන්ට ලැබෙන බව අමුතුවෙන් කිවයුතු නැත. 

මෙම තරගාවලිය සංවිධානය කිරීමේ මුඛ්‍ය අරමුණද හිතවතුන්ට මුදලක් සොයා ගැනීමට අවස්ථාව ලබාදීම මිස අන්කිසිවක් නොවේ. 

ජාතික කණ්ඩායම ගොඩගැනීමේ සැබෑ උවමනාවක් තිබේ නම් කළයුතුව තිබුණේ ප‍්‍රබල ක‍්‍රීඩකයන් 15 බැගින් සංචිත දෙකක් සකස් කර තරග කීපයක තරගාවලියක් පැවැත්වීම බව ක්‍රිකට් ප්‍රවීණයන්ගේ අදහසය. එසේ වූයේ නම් හොඳ තරගකාරිත්වයකින් යුතු තරග පැවැත්වීමෙන් හොඳ පුහුණුවක් ලැබීමේ අවස්ථාව හිමි වන බව ඔවුන්ගේ මතයයි.

මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායම්වල ක‍්‍රීඩකයන් දෙස බැලීමේදී අන්තර්ජාතික මට්ටමේ ක‍්‍රීඩකයකුට තරගයකට සහභාගි වීමේ අවස්ථාවක් පමණක් හිමිවන බව කියයුතුය. අන්තර් නගර තරගාවලිය හේතුවෙන් ශ්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් කණ්ඩායමට එංගලන්තයේදී ලබන ජූනි මස පැවැත්වෙන ‘ශූරයන් කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා සූදානම් වීමට තවත් කල්ගැනීමට සිදුවී තිබේ. 

‘ශූරයන් කුසලාන’ තරගාවලියට සහභාගි වන සංචිතය මේ මස 25 වැනිදා වනවිට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවට යොමුකළ යුතුව තිබේ. නමුත් දැන් පැවැත්වෙන අන්තර් නගර තරගාවලිය මේ මස 30 වැනිදා අවසන් වේ. ඒ අනුව ලබන විට එම තරගාවලිය අවසන් වීමට පෙර සංචිතය නම් කළ යුතුය. 

ශ්‍රී ලංකා සංචිතය පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේ සතියක පමණ නේවාසික පුහුණුවක් සඳහා මැයි මස 02 වැනිදා පිටත්ව යෑමට නියමිත අතර එංගලන්තයේ පරිසර තත්ත්වයට හුරුවීම සඳහා එම පුහුණුව සූදානම් කර තිබේ. 

ශ්‍රී ලංකා පිල මැයි මස 17 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිත අතර පළමුවෙන් අයර්ලන්තයට ළගා වීමට නියමිතය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් පාලකයන් කණ්ඩායමට තරග අත්දැකීම් ලබාදීමට නම් කළ යුත්තේ එවැනි රටවල්වල වැඩි වැඩියෙන් තරග ලබාදීමය. 

එසේ නොමැතිව එහෙයින්ගේ මල්ල තරකර ගැනීමට නිෂ්පළ දේශීය තරගාවලිය පැවැත්වීම නොවේ.  

 සටහන: වරකාගොඩ ගමගේ