2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

ක්‍රීඩා සංගම් නිලවරණ එකම අච්චාරුවක් වෙලා

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 69

ක‍්‍රීඩා නීතියේ වෙනස්කම් කළද ක‍්‍රීඩා සංගම්වල නිලවරණ පැවැත්වීමේදී පැවැති ව්‍යාකූල තත්ත්වය පහව ගොස් නැති බව පසුගිය සතිය පුරා ක‍්‍රීඩා සංගම් පිළිබඳව වූ සිද්ධීන් ගැන බැලීමේදී පැහැදිලි වේ.

ශ්‍රී ලංකාවේ සියලුම ක‍්‍රීඩා සංගම්වල නිලවරණ (2017 x 2019) ලබන මැයි මස 31 වැනිදාට පෙර පැවැත්විය යුතුය. පාපන්දු සංගමයට පමණක් ජූලි මස 01 වැනිදා පැවැත්වීමට ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් විශේෂ අවසරයක් ලබාදී තිබේ.

නිලවරණ සම්බන්ධයෙන් විවිධ කතා මේ වන විට පැතිර යන අතර ඒ අතර වාරණ නියෝග ලබාගැනීම සඳහා අධිකරණයට යෑම, සුදුසුකම් පෙන්වීමට හොර සහතික ඉදිරිපත් කිරීම වැනි දේවල් ද කරළියට පැමිණෙමින් තිබේ.  

මෙම ක‍්‍රීඩා සංගම් නිලවරණය ව්‍යාකූල කිරීමට පිටුපස ජාතික ඔලිම්පික් කමිටුවේ ප‍්‍රධාන තනතුරක රැඳී සිටින නිලධාරියකු සිටින බව ප‍්‍රසිද්ධ රහසකි.

ජාතික ඔලිම්පික් කමිටුවේ උසස් නිලධාරියකුගේ කඹයක් ගිලමින් බැඞ්මින්ටන් සංගමය පසුගියදා නිලවරණය පවත්වා නිලධාරීන් පත්කර ගත්තද ක‍්‍රීඩා අමාත්‍යවරයා එම නිලවරණය අවලංගු කරමින් අතුරු කමිටුවක් පත් කිරීමට පියවර ගත්තේය.  

නව ක‍්‍රීඩා පනතේ වාර්ෂික ගිණුම් වාර්තා පිළිබඳව වගන්ති මෙම බොහෝ ක‍්‍රීඩා සංගම්වලට හරහට හිටියේය. බැඩ්මින්ටන් නිලවරණයයේදීද පසුගිය වසරේ විගණනය කළ ගිණුම් වාර්තා පිළිබඳව ප‍්‍රශ්නය මත ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට වේවැල අතට ගැනීමට සිදුවිය. 

බැඩ්මින්ටන් සංගම් නිලවරණය මේ මස 30 වැනිදා නැවත පැවැත්වීමට ක‍්‍රීඩා අමාත්‍යංශය දින යොදාගෙන තිබුණද එය පැවැත්වෙන තුරු විශ්වාසයක් තැබිය නොහැක. 

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණයද මේ වන විට යුද්ධයක් බවට පත්ව තිබේ. එම නිලවරණය සඳහා ද මෙම සටහන තබන මොහොත දක්වා 2016 වසරේ ගිණුම් වාර්තා සාමාජිකයන්ට ඉදිරිපත් කර නොතිබුණි. 

පාපන්දු සම්මේලනයේ හිටපු ප‍්‍රබල චරිතයක් ද මේ වන විට නිලවරණයට සම්බන්ධ වී සිටීම නිසා ව්‍යාකූල තත්ත්වය තව දුරටත් තීව්‍ර වී ඇති බව පාපන්දු ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්ව තිබේ. 

ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ නිලවරණය ලබන මැයි මස 8 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එම නිලවරණයට ද නව ක‍්‍රීඩා රෙගුලාසිවලට අනුව සුදුසුකම් නැති ඇතැම් නිලධාරීන් හොර සහතික ඉදිරිපත් කිරීමට සැදී පැහැදී සිටින බව වාර්තා වේ. 

මලල ක‍්‍රීඩා නිලවරණයට නාමයෝජනා බාර ගැනීම ලබන සඳුදා (17 වැනිදා) අවසන් වීමට නියමිත අතර විරෝධතා දැක්වීම බ‍්‍රහස්පතින්දාට යෙදී තිබේ. එහිදී සටනට කරළියට පැමිණෙනු ඇත. 

මලල ක‍්‍රීඩා සභාපති ධූරයට වර්තමාන සභාපති හිටපු කෙටි දුර ධාවන ශූර සුගත් තිලකරත්න සහ හිටපු සභාපතිවරයකු වන මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු යන මහත්වරු සභාපති ධූරයට තරග කිරීමට නියමිතය. 

මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාට එරෙහිව දූෂණ චෝදනා කීපයක් අධිකරණයේ විභාග වෙමින් තිබෙන අතර විරෝධතා ගොන්නට ඒවා ද පැමිණෙනු ඇතැයි මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ කථා බහට ලක්ව තිබේ.  

 සටහන: යොහාන් භාසුර