2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

පරදින කොට එළියට එන බෝන් අශේන් චෝදනාව

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 648

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අසාර්ථක වන සෑම අවස්ථාවකදීම එහි අපවාදයෙන් ගැලවීමට හෝ එය අමතක කිරීමට විවිධ හේතු ඉදිරිපත් වීම වඩාත් කැපී පෙනේ. ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාව සහ එංගලන්තය හමුවේ පසුගියදා ලැබූ පරාජයත් සමඟ බෝන් අගේන් නැවතත් කරළියට පැමිණ තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුළ බෝන් අගේන් කල්ලියක් ක්‍රියාත්මක වන බව කාලයක සිට පැතිර ගිය ආරංචියකි.

අපේ කණ්ඩායමේ ආගමික කල්ලියක් පිළිබඳවත් අපි දන්නේ නෑ. නමුත් අපේ කණ්ඩායමේ කේළම් කල්ලියක් නම් ඉන්නවා. අපේ කණ්ඩායම ඇතුළෙ වෙන හැම දෙයක්ම එක මොහොතින් පිටට යනවා. ඒවා සමාජ මාධ්‍යවල පට්ට ගහනවා යැයි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් දේශයට පැවසීය.

ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ගෙන් වැඩි සංඛ්‍යාවක් බෝන් අගේන් ආගම වැළඳගෙන ඇති බවට පැතිර ගියද එවැනි තත්ත්වයක් නොමැති බව කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි. භානුක රාජපක්ෂ පමණක් මේ වනවිට බෝන් අගේන් ආගම වැළඳගෙන ඇති එකම ක්‍රීඩකයා බව පැවසේ. ඊට අමතරව හිටපු ක්‍රීඩකයන් මෙන්ම වර්තමාන පුහුණුකරුවන් දෙදෙනකුද බෝන් අගේන් ආගම වැළඳගෙන ඇති බව වාර්තා වේ.
තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ තනතුරු දරණ පුද්ගලයන් කීප දෙනෙකු බෝන් අගේන් ආගම වැළඳගෙන ඇති බවට විවිධ ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නිලධාරීන් කිහිප දෙනෙකුද බෝන් අගේන් කල්ලියට සම්බන්ධ බවට නිල නොවන තොරතුරු තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් කාලයක සිට කියැවෙන බෝන් අගේන් පලහිලව්ව එක එල්ලේම බැහැර කළ නොහැක.
බෝන් අගේන් කල්ලියට සම්බන්ධ නොවුණහොත් කණ්ඩායමේ අවස්ථාව ලැබිය නොහැකි බවට මේ වනවිට කථා පැතිර යයි. එය එසේ නම් දැඩි බරපතළ තත්ත්වයකි. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක උපුල් තරංග බෝන් අගේන් කල්ලියට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමි වූ බවට ද කතාවක් තිබේ. කෙසේ වෙතත් උපුල් තරංග මේ දක්වා එය තහවුරු කර නැත.

තරග පරාජ වන අවස්ථාවලදී පමණක් බෝන් අගේන් හිස එසවීමද ප්‍රශ්නයකි. අඛණ්ඩව අසාර්ථක වන ක්‍රීඩකයන් දිගටම කණ්ඩායමේ රැඳී සිටීම, විනය චෝදනා ලබන ක්‍රීඩකයන්ට දඩයම් නොලැබීම සහ ඇතැම් නිලධාරීන් පක්ෂග්‍රාහී වීම වැනි දේවල් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව තවත් සමහරු චෝදනා කරති.

බෝන් අගේන් ප්‍රශ්නයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තිබේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම පරීක්ෂණයක් පවත්වා එය විසඳිය යුතුය. ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් එහෙම එකක් නෑ යැයි කීවාට එය පිළිගැනීමට කිසිවකු සූදානම් නැත.

ඒ හේතුවෙන් ක්‍රිකට් ආයතනය හැකි ඉක්මණින් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා මෙය විසඳිය යුතුව තිබේ. ශ්‍රී ලංකාවේ නම් දැරෑ ස්වාමීන් වහන්සේ නමක් පැවසුවේ ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන්ම අලුත් කඩේ පැත්තේද බෝන් අගේන් ක්‍රියාත්මක වන බවය.
පරාජ වසා ගැනීම සඳහා බෝන් අගේන් යොදාගන්නවා යැයිද ඇතැමුන්ට තර්ක කළ හැකිය. එයද එක එල්ලේ බැහැර කළ නොහැක. 
දකුණු අප්‍රිකාව සහ එංගලන්තය හමුවේ ලැබූ දරුණු පරාජයට හේතුව පුහුණුවක් හෝ සැලසුමක් නොමැතිව එම සංචාරවලට සහභාගී වීම බව හිටපු තේරීම් කමිටු සභාපති සහ හිටපු කළමනාකරු අසන්ත ද මෙල් මහතා පවසා තිබුණි. මෙම තත්ත්වය මත පරාජ වසා ගැනීමට බෝන් අගේන් පාවිච්චි කරනවාද යන්න සැකකළ හැකිය.

කෙසේ වෙතත් බෝන් අගේන් ප්‍රශ්නයට මැදිහත්වීමට මේ වනවිටත් බලධාරීන් ප්‍රමාදය. පරාජයකදී නැවත මෙයට හිස එසවිය නොහැකි එලෙස විසඳිය යුතුය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රශ්න පිළිබඳව කටයුතු කරන ආකාරය ක්‍රීඩාවට හානියකි. ඕනෑම ක්‍රීඩකයකු විනය විරෝධීව හැසිරෙන්නේ නම් දඬුවම් කිරීම අනිවාර්ය පියවරකි.

 යොහාන් බාසුර