2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

අධ්‍යාපන පරිපාලන ශ්‍රේණියේ ගැටය ඇඹරෙයි

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:30 472

පාසල් ක‍්‍රීඩා චක‍්‍රලේඛයකින් විදුහල්පති සේවය යටතේ විදුහල්පතිවරුන් ලෙස කටයුතු කරන නිලධාරීන්ගේ අවස්ථාව නැති කිරීමක් පිළිබඳව මම පුවත්පතකින් දැක්කා. මම එය වහාම නිවැරදි කරන්න කටයුතු කළා. පාසල් ක‍්‍රිකට් සංගමයේ නිලවරණයේදී විදුහල්පති සේවයේ නිලධාරීන්ටත් සභාපති ධූරයට පත්වීමේ අවස්ථාව ලබාදෙන්න කියලා මම උපදෙස් දුන්නා’’ යැයි අධ්‍යාපන සහ ක‍්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරැම මහතා ‘දේශය’ට පැවසීය.

ශ්‍රී ලංකා විදුහල්පති ශ්‍රේණියේ විදුහල්පතිවරයකු ලෙස කොළඹ පාසලක විදුහල්පතිවරයෙක් එම චක‍්‍රලේඛය පිළිබඳ මාධ්‍ය වාර්තාව පිළිබඳව මෙසේ ප‍්‍රශංසනාත්මක අදහස් පළ කළේය.
ඒක ලියපු එක ගොඩක් හොඳයි. දැන් මටත් පාසල් ක‍්‍රිකට් සංගමයේ සභාපති වෙන්න පුළුවන්. ඇත්තෙන්ම පත්තරෙන් වෙන්නෙ ඔය වගේ දේවල් තමයි යැයි එම විදුහල්පතිවරයා වැඩිදුරටත් පැවසීය. 
අධ්‍යාපන අමාත්‍යංශය තුළ සහ කොළඹ අවට ප‍්‍රධාන පාසල් කිහිපයක ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය යටතේ කටයුතු කරන ‘ගජ මිතුරු’ කල්ලියක් විසින් ගසන ලද ‘ගැටයක්’ හේතුවෙන් එම සේවයේ විදුහල්පතිවරුන්ට පමණක් පාසල් ක‍්‍රීඩා සංගම්වල සභාපති ධූරය වෙන් වී තිබුණි. 

මෙම ගැටකරුවන්ගේ ප‍්‍රධාන ඉලක්කය බවට පත්ව තිබුණේ පාසල් ක‍්‍රිකට් සංගමයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පසුගිය 12 වැනිදා බත්තරමුල්ලේදී පැවැත්වූ පාසල් ක‍්‍රිකට් සංගමයේ නිලවරණයේදී සභාපති ධූරය රැකගැනීමයි. 
විදුහල්පති ශ්‍රේණියේ විදුහල්පතිවරු පිරිසක් මෙම නිලවරණය ව්‍යවස්ථා විරෝධී වීම හේතුවෙන් කල් දමන ලෙස අධ්‍යාපන බලධාරීන්ට ලිඛිතව දැනුම් දුන්න ද එවැනි දෙයක් සිදු නොවූ අතර එහි ප‍්‍රයෝජනය ගත් ඇතැම්හු පාසල් ක‍්‍රිකට් නිලවරණයට මහ මැතිවරණයකට මෙන් සූදානම් වූහ. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයේදී මුදල් කුට්ටි, ගමන් පහසුකම් මෙන්ම හෝටල් පහසුකම් ද ලබා දෙමින් ඡන්දය ලබාගන්නා බව අසා දැක තිබේ. එසේ වුවද පාසල් ක‍්‍රිකට් සංගමයේ නිලවරණයේදී එවැනි තත්ත්වයක් මීට පෙර අසා නොතිබුණි. 
මෙවර පාසල් ක‍්‍රිකට් සංගම් නිලවරණයේදී ඇතැමුන්ගේ පෞද්ගලික මුදලින් නුවර පාර ඔස්සේ බස්රථවලින් විදුහල්පතිවරැන් ඇතුළු පාසල් ක‍්‍රිකට් නිලවරණයේදී ඡන්දය හිමි පාසල් නියෝජිතයන් බත්තරමුල්ලට පැමිණ සිටි බව පාසල් ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්ව තිබේ.

මෙහිදී නිලවරණයට ඉදිරිපත් වූ ඇතැම් පුද්ගලයන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පාසල්වලට ලබා දුන් ඇතැම් උපකරණ බෙදා දීමේදී ද ඒවා තමන්ගේ මැදිහත් වීමෙන් ලබා දුන් ඒවා බව හඟවමින් ඡන්ද නිර්මාණය කරගත් බවත් පාසල් ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්ව තිබේ. 

පාසල් ක‍්‍රිකට් සංගමයේ වසර 15කට අධික කාලයක් කටයුතු කළ ඇතැම් විදුහල්පතිවරැන් සහ ගුරැවරැන් තමන්ට තනතුරැ සඳහා ඉදිරිපත් වීමට හැකි වේද යන්න පිළිබඳව දැඩි ගැටලුසහගතව නිලවරණයට පැමිණ සිටියහ.
එහිදී අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරැම මහතාගේ නියෝගයෙන් විදුහල්පති ශ්‍රේණියට ද අවස්ථාව ලැබීමෙන් ඇතැම් විදුහල්පතිවරුන් නිලවරණයට ඉදිරිපත් වීමට කැමැත්ත පළ කළේ දුරබැහැර සිට පැමිණි නියෝජිතයන් පිළිබඳව අවධානය යොමු කරමින් බව දැනගන්නට තිබේ.  

පාසල් ක‍්‍රිකට් සංගමයේ නිලවරණයේදී විදුහල්පති ශ්‍රේණිය අයිතිය වෙනුවෙන් සටන් කළ විදුහල්පතිවරැන් සහ එම සටනේ සිටි ගුරුවරුන් පරාජයට පත්වීම ද කැපී පෙනුණි. 
කෙසේ වෙතත් මෙම නිලවරණයට සහභාගි නොවූ පාසල් ක‍්‍රිකට් සංගමයේ සාමාජිකයකු හෝ පිරිසක් එම නිලවරණය නීති විරෝධී යැයි පවසමින් අධිකරණය හමුවේ කරුණු දැක්වුවහොත් එහි නීතියට අනුකූල ද නොවේද යන්න නිශ්චිතව බේරාගත හැකිය.  

  යොහාන් භාසුර