2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

ක්‍රිකට් තරග විකාශන අයිතියේ ගේම් ගහන “මචං”ලා

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 89

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දේශීය තරග විකාශන අයිතියීන් නීත්‍යානුකූල නොවන ආකාරයට අලෙවි කර ඇති බවට පාර්ලිමේන්තු ‘කෝප්’ කමිටුව පසුගිය සතියේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නීති නිලධාරියා ඇතුළු විධායක සභාවට දොස් නඟා තිබේ. 

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ‘කෝප්’ කමිටුවේ සභාපති ධූරයට නැවතත් පත්වූ වහාම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරීන් නැවත ‘කෝප්’ කමිටුව හමුවට කැඳවීමට පියවර ගත්තේය. එම කැඳවීම මත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා, ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් එම්.කේ.ඩී. රුවන්චන්ද්‍ර යන මහත්වරු ඇතුළු නිලධාරීහු පසුගිය සතියේ ‘කෝප්’ කමිටුව හමුවේ පෙනී සිටියහ.

මීට පෙර අවස්ථාවලදී මෙන්ම මෙවරද ‘කෝප්’ කමිටු සාමාජිකයෝ විශේෂ විගණනයෙන් හෙළිවූ ඇතැම් කරුණු පිළිබඳව ප‍්‍රශ්න කළහ. හිටපු ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා නිකුත් කළ නියෝගයක් වැරදි ලෙස හුවාදක්වමින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සිය අභිමතය පරිදි පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවලට ගුවන්විදුලි විකාශන අයිතිය පවරා ඇති බවට මෙහිදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට චෝදනා එල්ල විය. 

දේශීය තරග විකාශන අයිතීන් රාජ්‍ය නාලිකාවලට සහ ක්‍රීඩාවට පමණක් වෙන්වූ පෞද්ගලික නාලිකා සඳහා පමණක් ලබාදිය යුතු බවට අමත්‍ය මණ්ඩල අනුමැතියෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා නියෝගයක් නිකුත්කර තිබුණි. එම නියෝගය රූපවාහිනී විකාශන අයිතිය සම්බන්ධයෙන් පමණක් බලපැවැත්වෙන්නක් බව ‘කෝප්’ කමිටුව එහිදී අවධාරණය කළේය. එම මතයට එරෙහිව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නීති නිලධාරියා තර්ක කළද පසුව ‘කෝප්’ කමිටුවේ මතයට එකඟ විය. ඉන්පසුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නීති නිලධාරියා ‘කෝප්’ කමිටුවෙන් සමාව අයැද සිටි බව වාර්තා වේ. 

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ගුවන්විදුලි විකාශන අයිතිය විකිණීමේදී රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවය කරමින් සිටියදී වැරැදිකරු වී ඉවත් කළ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකුගේ සුරතලෙක් සෘජුව මැදිහත් වන බව ප‍්‍රසිද්ධ රහසකි. මෙම කුප‍්‍රකට පුද්ගලයා වර්තමානයේද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානීන්ගේ ඇඟේ දැවටෙමින් කටයුතු කරන ආකාරයද දැකගත හැකිය. ‘කෝප්’ කමිටුව පළමුවෙන්ම කළ යුත්තේ මෙවැනි පුද්ගලයන්ට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ කිසිදු කාර්යයකට සම්බන්ධවීමට නොහැකි ලෙස තහනමක් පනවා පරීක්‍ෂණ පැවැත්වීමය.

තමන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානීන් සමඟ ‘මචං ලෙවල් එකෙන්’ කටයුතු කරන්නේ යැයි ප‍්‍රදර්ශනය කිරීමට උත්සාහ කරන මෙම පුද්ගලයාට එරෙහිව වෙනම පරීක්‍ෂණයක් කළ යුතුය. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විශේෂ විගණනයෙන් හෙළිවූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තරග විකාශනයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලැබිය යුතු මුදලක් වෙනත් විදේශ ගිණුමකට බැරවීම පිළිබඳව පරීක්‍ෂණ කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) බාරදීමටද එහිදී ‘කෝප්’ කමිටුව පියවර ගත්තේය.

ශ‍්‍රී ලංකාවේදී 2018 වසරේ පැවැති දකුණු අප‍්‍රිකානු සංචාරයේ රූපවාහිනී විකාශන අයිතිය වෙනුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලැබිය යුතු මුදලින් කොටසක් වෙනත් විදේශ ගිණුමකට බැරවීම පිළිබඳව නැවතත් ‘කෝප්’ කමිටුවේ දැඩි අවධානයට යොමු වූ අතර සියලුදෙනාගේ එකඟත්වයෙන් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශනය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමේ වගකීම ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් එම්.කේ.ඩී. රුවන්චන්ද්‍ර මහතාට පැවරිණි.

එම පරීක්‍ෂණ සඳහා විශේෂ විගණනයෙන් හෙළි වූ තොරතුරුවලට අමතරව ‘සර්ට්’ ආයතනය ලබාදුන් තොරතුරුද ප‍්‍රයෝජනයට ගන්නා ලෙස එහිදී ‘කෝප්’ කමිටු සභාපති හඳුන්නෙත්ති මහතා උපදෙස් දුන්නේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් අධිකරණයේ නඩුවක් ක‍්‍රියාත්මක වන අතර මෙම සිද්ධියට සම්බන්ධ යැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ හිටපු ප‍්‍රධානියෙක් මාස කීපයක් රක්‍ෂිත බන්ධනාගාරගතවද සිටියේය.

 යොහාන් භාසුර