2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

ක්‍රිකට් ක්‍රීඩාව බිල්ලට දී බාල පන්දු ගෙන්නූ නිලධාරියා රකින පාලකයෝ

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 153

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන ප‍්‍රධානම ක‍්‍රිකට් තරගාවලිය වන අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියට ප‍්‍රමිතියෙන් තොර පන්දු ලබාදීම පසුගිය සතිය වනවිට දැඩි කථාබහට ලක්ව තිබුණි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙවැනි දෙකයි පනහේ වැඩ කළ පළමු අවස්ථාව මෙය නොවන අතර ඉදිරියේදීද මෙවැනි දේවල් නොවේ යැයි විශ්වාසයක් තැබිය නොහැක. 

පළමු පෙළ තරගාවලියට ලබාදී ඇති පන්දු පිළිබඳව ටෙස්ට් ක‍්‍රීඩකයෙක් ‘දේශය’ට මෙසේ අදහස් දැක්වීය. 

“අපේ පළමු පෙළ තරගාවලියට දීලා තියෙන්නේ හොඳම පන්දුව නෙමෙයි. ඒ පන්දු වර්ගයේම ඔරිජිනල් එක තියෙනවා. ඒක මේ වගේ කුණු පන්දුවක් නෙමෙයි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පාලකයන් දැනගන්න ඕනෙ මේක ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන තරගාවලිය කියන එක. මේ පාලකයන්ට ක‍්‍රිකට් දියුණු කිරීමේ වුවමනාවක් නෑ. බලයේ ඉන්නයි ඕනේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් කියන්නේ ලංකාවේ ක‍්‍රිකට් පාලනය කරන තැන. ශ්‍රී ලංකාවේ වඩාත් පොහොසත්ම ක‍්‍රීඩා සංගමය. රුපියල් මිලියන ගණනින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මුදල් ගැන කථා කරන්නේ. එහෙම වෙලා තමන්ගේ ප‍්‍රධානම තරගාවලියට ප‍්‍රමිතියෙන් තොර පන්දු ලබාදීම අනුමත කරන්න පුළුවන්ද?” යැයි එම ටෙස්ට් ක‍්‍රීඩකයා ප‍්‍රශ්න කරයි. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනයේ ක‍්‍රිකට් ක‍්‍රීඩා කළ පුද්ගලයන් ඉන්නවා යන සැකයද මෙවැනි දේවල්වලින් මතුවේ. ක‍්‍රිකට් තරගයකදී පන්දුවේ ප‍්‍රමිතිය කොතරම් වැදගත්ද යන්න පාසල් ක‍්‍රිකට් හෝ ක‍්‍රීඩා කළ අයකුට දැනුම තිබේ. එවැනි දැනුමක් තිබේ නම් ක‍්‍රීඩා සමාජවලින් පැමිණිලි ලැබුණු පසුව ප‍්‍රමිතියෙන් යුත් පන්දුවක් ලබාදීමට කටයුතු කළ යුතුව තිබුණි. නමුත් ‘සුපිරි අට’ තරගාවලියේදී එවැනි වෙනසක් නොවන බවට මේ වන විට ඉඟි පළවී තිබේ. 

මෙම ප‍්‍රමිතියෙන් තොර පන්දුවේ ප‍්‍රශ්නයක් නොමැති බවට ශ්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකරුවන්ගේ අංශයෙන් සහතිකයක් ලබාදීම නිසා අඛණ්ඩව එම පන්දුවම යොදා ගැනීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසීය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ තවත් එක අංශයක් වන පුහුණුකරුවන්ගේ අංශයෙන් පන්දුවේ ප‍්‍රමිතිය පිළිබඳව සහතිකයක් ලබාගැනීමට ශ්‍රී ලංකා ජනවහරයේ ඇති ‘පේන අහනවා’ වගේ යැයි කියමනට සමානය. 

එම පන්දුවලින් පන්දු යැවූ පන්දු යවන්නන් සහ එම පන්දු යවන්නන් මෙහෙයවූ නායකයන් පන්දු ප‍්‍රමිතියෙන් තොර යැයි පවසනවා නම් ස්වාධීන පරීක්‍ෂණයක් පැවැත්විය යුතුය. ආර්. ප්‍රේමදාස ක‍්‍රීඩාංගණයේ උසස් තනතුරක් දැරූ හිටපු ක‍්‍රීඩකයකුගේ සම්බන්ධීකරණයෙන් ගෙන්වූයේ යැයි කියන මෙම පන්දු තොගය අවසන් වනතුරු ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට මෙම පන්දුවේ ප‍්‍රමිතිය පිළිබඳව ප‍්‍රශ්නයක් පැන නොනඟින බව ක‍්‍රීඩා සමාජවල මතයයි. 

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඇතුළු සියලුම අංශයන් වැටී ඇති මොහොතක අපේ රටේදී ටෙස්ට් තරගවලට යොදාගන්නා පන්දුව ලබාදෙනවා වෙනුවට වෙනත් පන්දුවක් හඳුන්වාදීම කොතරම් ප‍්‍රශස්ථ තීරණයක්ද යන්න සිතාබැලිය යුතුය.   

 යොහාන් භාසුර