2017 මාර්තු 25 වන සෙනසුරාදා

අපි දැන් වෙනස් ( - බංග්ලාදේශ ක්‍රිකට් සභාපති )

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 148

බංග්ලාදේශ පිල ශ‍්‍රී ලංකාවට එරෙහිව ලැබූ ඉතිහාසගත ටෙස්ට් ජයග‍්‍රහණයෙන් සෙසු රටවල් බංග්ලාදේශ පිල දෙස බලන ආකාරය වෙනස් වන බව බංග්ලාදේශ ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නෂ්මුල් හසන් මහතා පවසා තිබුණි.
ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ මෙම ජයග‍්‍රහණයත් සමඟ බංග්ලාදේශ පිල සුළුවළට සැළකු අය ඉදිරියේදී වඩාත් හොඳ ආකාරයට සළකයි ඔහු කීය.

මෙම ජයග‍්‍රහණයත් සමඟ සෙසු රටවල් ඔවුන්ගේ තරග කාලසටහන්වල බංග්ලාදේශයටද වැඩි අවස්ථාවක් ලබා දෙනු ඇති බවට බංග්ලාදේශ ක‍්‍රිකට් සභාපතිවරයා පවසා තිබුණි. 
මෙම ජයග‍්‍රහණය බංග්ලාදේශය ප‍්‍රධානතම ටෙස්ට් කණ්ඩායමයකට එරෙහිව බංග්ලාදේශයෙන් පිටතදී ලැබූ පළමු ජයග‍්‍රහණය වේ. බංග්ලාදේශය 2000 වසරේ ටෙස්ට් වරම් ලැබීමෙන් පසුව සිම්බාබ්වේහිදී  සිම්බාබ්වේ පරාජය කර ඇති අතර ප‍්‍රධාන ක‍්‍රීඩකයන් නොමැති දෙවැනි පෙළ කණ්ඩායමක් වූ බටහිර ඉන්දීය කොදෙව් පිල පරාජය කර තිබේ. 
සියලුම රටවල්වලට අපි සමඟ ක‍්‍රීඩා කරන්න අවධානය යොමු කරන්න හොඳ අවස්ථාවක් බවට පත්වෙනවා. අපි හිතනවා ශ්‍රී ලංකාව ඔවුන්ගේ ප‍්‍රබලතම කණ්ඩායම එම තරගයට සහභාගි කරගත්තා කියලා. සියලුම රටවල් දැක්කකා බංග්ලාදේශ කණ්ඩායම වෙනස් වෙලා කියලා

අපි ඉදිරි වසර සඳහා කළ යුතු දේවල් කළා. ඒ සඳහා තව මොනවද කළ යුත්තේ. අපි බලාපොරොත්තු වෙනවා මෙම තරග වාරයේ ටෙස්ට් තරග 10 ක් ක‍්‍රීඩා කරන්න
අපිට පසුගිය කාළේ වසරකට එතරම් ටෙස්ට් තරග ක‍්‍රීඩා කරන්න ලැබුණේ නෑ. ප‍්‍රධාන කණ්ඩායම් බංග්ලාදේශයට තරග ලබාදුන්නේ නෑ යැයි බංග්ලාදේශ ක‍්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. 

බංග්ලාදේශය 2006 වසරෙන් පසුව ඕස්ට්‍රේලියාව සමඟ ටෙස්ට් තරගයකට සහභාගි වී නැත. එංගලන්තය සමඟ පසුගිය වසරේ ටෙස්ට් තරගාවලියකට සහභාගි වුවද එම තරගාවලියට ප‍්‍රබල ක‍්‍රීඩකයන් කිප දෙනෙක් සහභාගි නොවූහ.