2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් තේරීම් කමිටුවෙන් කපා දමයි

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 96

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය ‘කැකිල්ලේ තින්දුවක්’ ගනිමින් ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතා කනිෂ්ඨ ක‍්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉවත් කරමින් පැවැති තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් අට දෙනකුගේ නම් ක‍්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ අනුමැතියට යොමුකර තිබේ. ඩිල්ෂාන් ද සිල්වා යනු මෙම තේරීම් කමිටුවේ සිටියම යුතු නිලධාරියෙකි. කෙසේ වෙතත් ඒ මහතා ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පිරිසක් මාස කීපයක සිට මෙහෙයුමක් දියත් කරමින් සිටි බව ප‍්‍රසිද්ධ රහසකි.

එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙම තේරීම් කමිටුවේම සිටිනේ යැයි කියන පුද්ගලයකුගේ මැදිහත් වීමෙන් ඩිල්ෂාන් මහතාට එරෙහිව විවිධ චෝදනා එල්ල කළ අතර ඒ මහතාගේ කීර්තිනාමයට හානිවන ආකාරයේ ලිපියක පිටපතක් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිල මුද්‍රාව සහිතව මාධ්‍යවේදීන් වෙත තැපෑලෙන් යොමුකර තිබුණි. ඩිල්ෂාන් ද සිල්වා යනු තරග නරඹා ක‍්‍රීඩකයන් තෝරන නිලධාරියෙකි. ක‍්‍රීඩකයාගේ නම කී පමණින් ඔහුගේ සියලු විස්තර මතකයෙන් පැවසිය හැකි ආකාරයෙන් කටයුතු කරන නිලධාරියෙකි. 

ක‍්‍රීඩා ඇමතිවරයාට මේ වනවිට යොමුකළ ඇති ලැයිස්තුවට රංජිත් මධුරසිංහ (සභාපති), රංජන් පරණවිතාන, ගජබා පිටිගල, ඒ.එස්. නිශාන්ත, කේ.එච්. නන්දසේන, ගාමිණි වික‍්‍රමසිංහ, නිලන්ත රත්නායක සහ ෆර්විස් මහරුෆ් යන මහත්වරු ඇතුළත්ව සිටිති. මෙම අට දෙනාගෙන් තේරීම් සඳහා නැරඹූ තරග සංඛ්‍යාව සමඟ ලැයිස්තුවක් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ඉදිරිපත් කළ හැකිද? එවැනි ලැයිස්තුවක් ලැබුණහොත් ඩිල්ෂාන් මහතා ඉදිරියෙන්ම සිටියි. 

මෙහි ඇතුළත්ව සිටින සිවුදෙනකු පමණ තරග නැරඹා නැති තරම්ය. මහනුවර ප‍්‍රදේශය නියෝජනය කරන පුද්ගලයකු වසර ගණනාවක සිට කනිෂ්ඨ තේරීම් කමිටුවට ඇතුළත්ව සිටියද ඔහු තරගය නරඹන්නේ නැත. නමුත් ඔහු මෙම ලැයිස්තුවටද ඇතුළත්ය. වයස 19 න් පහළ කණ්ඩායමේ කළමනාකරැ වන ෆර්විස් මහරුෆ් නැවතත් කනිෂ්ඨ තේරීම් කමිටුවට ඇතුළත්ව සිටියි. දකුණු අප‍්‍රිකාවේදී පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිල දැක්වූ අසාර්ථකත්වයට තේරීම් කමිටු නියෝජිතයා ලෙස මහරුෆ් වගකීමක් ගත යුතුය. එහි කිසිදු තර්කයක් නොමැත. 

ක‍්‍රීඩා අමාත්‍යවරයා මෙම ලැයිස්තුවට අත්සන තැබීමට පෙර ඉහත කරුණු පිළිබඳව අවධානය යොමුකරන්නේ නම් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට යහපතක් වනවාට සැක නැත. 

 භාසුර