2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

19න් පහළ ක්‍රිකට් පිලේ ඇදවැටීමේ වගකීම විනෝදන් ජෝන් - මහරූෆ් බාරගත යුතුයි

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 121

ජාතික සම්පත් විනාශ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව අපි අසා ඇත්තෙමු. එවැනි චෝදනා ඇති අය සම්බන්ධයෙන් සිර දඬුවම්, නඩු පැවරීම්, පොලිස් පැමිණිලි සහ නිදහසට කරුණු වීමසීම් වැනි විවිධ මට්ටම්වල පියවර ගන්නා ආකාරය අප දැක තිබේ. ක‍්‍රිකට් බලධාරීන් සහ ක‍්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයන් ඉතිහාසය පුරාම ක‍්‍රිකට් සම්පත් විනාශ කළද ඔවුන්ට එරෙහිව දඬුවම් පැනවීමක් හෝ අවම වශයෙන් කරුණු විමසීමක් හෝ සිදුවන බවක් පෙනෙන්නට නැත.   

දකුණු අප‍්‍රිකාවේදී දැන් පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ‘පළඟ’ ශූරතාවලියට ඇද වැටීමට එම කණ්ඩායමේ කළමනාකාරීත්වය අනිවාර්යෙන් වගකිව යුතුය. ශ්‍රී ලංකා යොවුන් පිල පළමු වටයේ දෙවැනි තරගයේදී නවසීලන්තය හමුවේ පරාජය වන්නේ අවසන් පන්දුවට පෙර පන්දුවේදීය. මෙම තරගයට ක‍්‍රීඩා කළ එකම වේගපන්දු යවන්නා වන ළහිරු මධුසංඛ එම ඕවරය ක‍්‍රියාත්මක කළේය. දකුණු අප‍්‍රිකාවේදී එක වේගපන්දු යවන්නකුගෙන් ක‍්‍රීඩා කිරීම හාස්‍ය දනවන තත්ත්වයකි. ශ්‍රී ලංකාවේ ඕනෑම ජාතික කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී තරගයකට සහභාගි වුවද ඉතාමත් කලාතුරකින් හැරෙන්නට වේගපන්දු යවන්නන් දෙදෙනකු කණ්ඩායමට ඇතුළත් කරයි.

මෙහිදී ශ්‍රී ලංකා යොවුන් පිලට ඇතුළත්ව සිටි තේරීම් කමිටු සාමාජිකයන් දෙදෙනා වන විනෝදන් ජෝන් සහ ෆර්විස් මහරුෆ් ප‍්‍රමුඛ කළමනාකාරීත්වය දඟපන්දු යවන්නන් තිදෙනකු සමඟ තරගයට පිවිස තිබුණි. මෙම කණ්ඩායට සහභාගි වූ 11 දෙනා අතර නායක නිපුන් ධනංජය, නවෝද් පරණවිතාන සහ සොනාල් දිනූෂ දඟපන්දු යවන්නෝ වූහ. ඒ අනුව කණ්ඩායමට නිත්‍ය දඟපන්දු යවන්නන් තිදෙනාත් සමඟ දඟපන්දු යවන්නෝ හයදෙනෙක් ඇතුළත් වූහ. ඒ අනුව පහසුවෙන්ම දඟපන්දු යවන්නකු ඉවත් කර වේගපන්දු යවන්නකු ක‍්‍රීඩා කිරීමේ හැකියාව තිබුණද එය එසේ නොවීය. නවෝද්  ඕවර 9 ක් ද, සොනාල් ඕවරයක්ද, යැවූ අතර නායක නිපුන් ධනංජය පන්දු නොයැවීය. වේගපන්දු යවන්නකු යොදාගෙන සොනාල් සහ නිපුන් ඕවර 5 බැගින් යැව්වේ නම් තරගයේ ප්‍රතිඵලය මීට වඩා වෙනස් කිරීමේ හැකියාව තිබුණි. පිතිකරුවන් අටක් සමඟ තරගයට පැමිණ සිටීම එහිදී වඩාත් කැපී පෙනෙන සිද්ධිය බවට පත්විය.

මෙම කණ්ඩායම දකුණු අප‍්‍රිකාවට පිටත්ව යනවිට කමිල් මිෂාර, නිපුන් ධනංජය, නවෝද් පරණවිතාන සහ අහන් වික‍්‍රමසිංහ ප‍්‍රබලතම පිතිකරුවන් ලෙස හඳුනාගෙන තිබුණි. කෙසේ වෙතත් මෙම තරගයේදී අංක හතර පිතිකරු ස්ථානයේ ක‍්‍රීඩා කළ යුතු අහන් අංක හයට වැටුණි. ළඟ ළඟ කඩුලු දෙකක් බිඳ වැටීම නිසා කඩුල්ල ආරක්‍ෂා කරගැනීම නිසා අහන් පසුපසට ගත් බවට දකුණු අප‍්‍රිකාවේ සිටින කණ්ඩායම් කළමනාකාරීත්වය පවසා ඇති බව දැනගන්නට තිබේ. 

යොවුන් පිලේ කළමනාකාරීත්වය වගකීම් පැහැර හැර ඇති බව පැහැදිලිය. අවම වශයෙන් ක‍්‍රීඩා අමාත්‍යවරයා හෝ මැදිහත් වී ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසිය යුතුව තිබේ. තේරීම් කමිටු පත්කිරීමේ නිසි බලධාරියා ක‍්‍රීඩා අමාත්‍යවරයා වීම නිසා නව තේරීම් කමිටු පත්කිරීමේදී විනෝදන් ජෝන් සහ ෆර්විස් මහරුෆ් වැනි පුද්ගලයන් පත් නොකිරීමට අමාත්‍යවරයාට බුද්ධිය පහළ විය යුතුය.

වර්තමාන ක‍්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හෝ ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්පත් විනාශ කරන්නන්ට දඬුවම් දීම ආරම්භ කළ යුතුය.

- යොහාන් භාසුර

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00