2020 ජනවාරි 25 වන සෙනසුරාදා

කුසල් ජනිත් අස්කළේ ඇයි?

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 352

ක‍්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනතා නියෝජිතයකු ලෙස සිය වගකීම ඉටුකිරීමට වෙහෙසෙන බව පසුගිය සතියේ දැකගත හැකිවිය. ක‍්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ ප‍්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා යන මහත්වරු අමාත්‍යංශයට කැඳවා කුසල් ජනිත් පෙරේරා ටෙස්ට් සංචිතයෙන් ඉවත්කිරීම පිළිබඳව කරුණු විමසා තිබේ. 

එහිදී අමාත්‍යවරයා කරුණු විමසීමෙන් ඔබ්බට ගොස් එම නිලධාරීන් දෙපළට උපදෙස් ලබාදුන් බවද දැනගන්නට තිබේ. “මින් ඉදිරියට සුළු හෝ වැරැද්දක් සිදුනොවීමට වගබලා ගන්නා ලෙස ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට උපදෙස් දෙන ලදී. ක‍්‍රිකට් වැනි ජනප‍්‍රිය ක‍්‍රීඩාවක් සම්බන්ධව තීරණ ගැනීමේදී වඩාත් සුදුසු මෙන්ම සංවේදී කාරණා පිළිබඳවද සොයාබලා නිවැරදිම තීන්දුවකට ඒමේ වැදගත්කම පෙන්වා දුන් අමාත්‍යවරයා එසේ නොවීමෙන් සිදුවන හානියේ බරපතලකමද පෙන්වා දුන්නේය” යැයි ක‍්‍රීඩා අමාත්‍යංශ මාධ්‍ය අංශයේ නිල වට්ස්ඇප් ගිණුමේ සඳහන්ව තිබුණි. 

ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඩලස් අලහප්පෙරැම මහතා සිය අත්සනට වටිනාකමක් ලබාදීම සම්බන්ධයෙන් මෙරට ජනතාව සතුටුවිය යුතුය. ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ සිටිය යුතු ක‍්‍රීඩකයකු වන කුසල් ජනිත් පෙරේරා ඉවත්කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවලින් එල්ල වූ විවේචන සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය කාලය වැයකරමින් වඩාත් ගැඹුරින් සොයා බැලූ බව අප හොඳින්ම දන්නා කරුණකි.

“ජාතික කණ්ඩායමට මම අත්සන් කරනවනේ. මෙහෙම වුණාම අත්සන දාන මම වැරදිකාරයෙක් වෙනවා. මට ඕනෙ හරිම කණ්ඩායම යවන්නයි. එහෙම නොවුණොත් ඉදිරියේදී අත්සන් කරන්න පෙර මට සොයලා බලන්න වෙනවා” යැයි ඇමතිවරයා පවසා ඇති බව වාර්තා වේ. අමාත්‍යවරයා ක‍්‍රිකට් නිලධාරීන් දෙපල කැඳවීමට පෙර විවිධ පුද්ගලයන්ගෙන් කුසල් පෙරේරා ඉවත්කිරීම පිළිබඳව කරුණු රැස්කරගෙන තිබේ. එම බොහෝ අදහස්වලට අනුව කුසල් ඉවත්කිරීම අසාධාරණයක් බව ඇමතිවරයාට පැහැදිලි වී ඇති බව වාර්තා වේ. 

කුසල් ජනිත් ඉවත්කිරීම පමණක් නොව දකුණු අප‍්‍රිකාවේදී දැන් පැවැත්වෙන වයස 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා සංචිතයෙන් වත්තල ශාන්ත අන්තෝනි විදුහලේ අවිෂ්ක තරිඳු පිළිබඳවද අමාත්‍යවරයා කරුණු සොයමින් සිටින බව දැනගන්නට තිබේ. යොවුන් ලෝක කුසලාන තරගාවලියට කනිෂ්ඨ තේරීම් කමිටුව ලබාදුන් සංචිතයේ පිටපතක් ද ක‍්‍රීඩා අමාත්‍යවරයා සතුව ඇති බව දැනගන්නට තිබේ. කනිෂ්ඨ තේරීම් කමිටුව නම් කරන සංචිතයේ අවසන් බලධරයා අසන්ත ද මෙල්ගේ සභාපතිත්වයෙන් යුත් ජාතික තේරීම් කමිටුව බව ද ක‍්‍රීඩා අමාත්‍යවරයා දැනුවත්ව සිටින බව වාර්තා වේ. 

ජාතික ක‍්‍රීඩා කණ්ඩායම්වලට ක‍්‍රීඩා අමාත්‍යවරයා අත්සන තබන්නේ සම්ප‍්‍රදායක් ලෙස යැයි මාධ්‍ය හමුවලදී ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළ ක‍්‍රීඩා ඇමතිවරු සිටි රටක ඩලස් අලහප්පෙරුම වැනි ඇමතිවරයකු සිටීමද වාසනාවකි. ක‍්‍රීඩා තේරීම් කමිටු පත්වන්නේ ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියෙනි. අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් වර්තමාන තේරීම් කමිටුවේ කාලය ලබන මාර්තු මස අවසන්වීමට නියමිතය.

එංගලන්තයේදී පසුගිය වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ අසාර්ථකත්වය හේතුව බවට පත්කරගනිමින් තේරීම් කමිටුවෙන් බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා ඇතුළු සාමාජිකයන් දෙදෙනකු ඉවත් කෙරිණි. එසේ වුවද සභාපතිවරයා වන අසන්ත මෙල් සේවා දිගුවක් ලැබීය. හිටපු ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ අසන්ත ද මෙල් මහතා සතුව අනාගයට හොඳ සැලසුම් තිබීම නිසා තවදුරටත් තබාගත් බවයි. 

 විශේෂ ලියුම්කරැවකු විසිනි

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00