2020 ජනවාරි 25 වන සෙනසුරාදා

යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් : හොඳ ක්‍රීඩකයෝ බංකුවේ

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 107

දකුණු අප‍්‍රිකාවේදී දැන් පැවැත්වෙන වයස 19න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් සංචිතයට ඇතුළත්ව සිටින ක‍්‍රීඩකයන්ගෙන් උපරිම ප‍්‍රයෝජනය නොගත් තේරීම් කමිටු සාමාජිකයන්ගෙන් සහ කණ්ඩායම් කළමනාකාරීත්වයෙන් නිදහසට කරුණු විමසීමේ වගකීමක් ක‍්‍රීඩා බලධාරින්ට පැවරේ. 

ශ්‍රී ලංකා යොවුන් පිල පසුගිය බදාදා සහභාගි වූ දෙවැනි තරගයේදී නවසීලන්තය හමුවේ කඩුලු තුනකින් පරාජය විය. දකුණු අප‍්‍රිකාවේ රැදී සිටින ජාතික තේරීම් කමිටු සාමාජික විනෝදන් ජෝන් සහ කනිෂ්ඨ තේරීම් කමිටු සාමාජික ෆර්විස් මහරැෆ් යන මහත්වරු අත්තොනෝමතිකව කටයුතු කරන බවට පසුගිය තරග දෙකේ ශ්‍රී ලංකා කණ්ඩායම දෙස බැලීමේදී විශ්වාස කළ හැකි කරුණුසේ පෙනිණි.

ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවේ අංක හතර ස්ථානයේ වඩාත් සාර්ථක පිතිකරැ වන අහන් වික‍්‍රමසිංහ සම්බන්ධයෙන් කිසියම් කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වූ බව නම් පැහැදිලිය. අහන්ට පළමු තරගයේදී ස්ථානය අහිමිකළ තේරීම් කමිටුව දෙවැනි තරගයේදී ඔහු කණ්ඩායමට ඇතුළත් කළද පිතිකරු ලැයිස්තුවේ අටවැනි තැනට ඇද දැම්මේය. අහන්ට කුඩම්මාගේ සැලකිල්ල දැක්වුවද ඔහු අංක අට ස්ථානයේදී කණ්ඩායමට උපරිම යුතුකම ඉටුකරමින් පන්දු 48 කින් ලකුණු 64ක් රැස්කළේය. එය විනෝදන් සහ මහරුෆ් යන තේරීම් කමිටු සාමාජිකයන්ට මොළ රත්වෙන්න දුන් කණේ පහරක් බඳුය. ශ්‍රී ලංකා යොවුන් පිල පසුගිය ඉරිදා ඉන්දියාවට එරෙහිව සහභාගි වූ පළමු තරගයේදී ප‍්‍රවේගකාරී පිතිකරැ අහන් වික‍්‍රමසිංහ ඉවත්කිරීමට කටයුතු කිරීම පිළිබඳව ක‍්‍රිකට් ප‍්‍රවීණයෝ විමතිය පළකරති. 

ආසන්නතම ශූරයන් වන ප‍්‍රබල ඉන්දීය පිලට එරෙහිව ප‍්‍රබලතම කණ්ඩායම ක‍්‍රීඩා කළයුතු වුවද අහන් වික‍්‍රමසිංහ වෙනුවට තවීෂ අභිෂේක් කැඳවීමෙන් ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවේ ඉදිරිපෙළ වේගය සහ ශක්තිය හීනවිය. තවීෂ අභිෂේක් පන්දු 33 කින් ලකුණු 15 ක් පමණක් රැස්කරමින් ලකුණු රුස්කිරීමේ වේගය 45.45ක අඩු මට්ටමක පවත්වා තිබුණි.

ශ්‍රී ලංකා යොවුන් පිල මෙම තරගයෙන් ලකුණු 90 ක පරාජයක් ලැබීය. ශ්‍රී ලංකා යොවුන් පිල ජයග‍්‍රහණය සඳහා ලකුණු 298ක ඉලක්කය හඹායද්දී 39 වැනි  ඕවරයේ පළමු පන්දුව අවසන් වනවිට කඩුලු හතරක් පමණක් දැවී ලකුණු 181ක් රැස්කර සිටියේය. එම තත්ත්වය අනුව මැද සහ පසුපෙළ පිතිකරුවන් දෙදෙනකු සාර්ථක වූයේ නම් ඉලක්කය ආසන්නයට යෑමේ අවස්ථාව තිබුණි. එතැන් සිට ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු හය ලකුණු 26 ක් තුළ බිඳ වැටීමෙන් 46 වැනි  ඕවරයේ දෙවැනි පන්දුවේදී ලකුණු 207කට සීමාකිරීමට සිදුවිය.

නායක නිපුන් ධනංජය සමඟ තවත් පිතිකරුවන් දෙදෙනකුගේ සහාය ලැබුණේ නම් තත්ත්වය වෙනස්වීමට ඉඩ තිබුණි. අංක හය පිතිකරු වූ සොනාල් දිනූෂ ලකුණු 16ක් ලබා දැවීයෑමෙන් පසුව සෙසු පිතිකරුවන් පස්දෙනාම ලකුණු 10 සීමාව පසුකිරීමට අපොහොත් වූහ. මෙම කණ්ඩායම ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන අවස්ථාවේදීද මැද සහ පසු පෙළ පිතිකරුවන්ගේ දුර්වලතාවක් ප‍්‍රදර්ශනය වන බව මාධ්‍යවේදීහු ප‍්‍රශ්න කළහ. එහිදී ප‍්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා පැවසුවේ එවැනි ප‍්‍රශ්නයක් නොමැති බවයි.

අංක හය ස්ථානයේ වඩාත් සාර්ථක පිතිකරුවකු වූ අවිෂ්ක තරිඳු එළියෙන් තබා වෙනත් ඉදිරිපෙළ පිතිකරුවන් දෙදෙනකු සංචිතයට ඇතුළත් කිරීමෙන් සංචිතයේ සමබරතාව හීන වී ඇති බව ඉන්දීය තරගයේ ප‍්‍රතිඵලයෙන් පැහැදිලි වේ.   

 යොහාන් භාසුර

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00