2020 ජනවාරි 25 වන සෙනසුරාදා

මැතිව්ස්ගේ අමරණීය ඉනිම!

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 81

සිම්බාබ්වේට එරෙහිව හරාරේහිදී පසුගිය බ‍්‍රහස්පතින්දා අවසන් වූ පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් ශ‍්‍රී ලංකා පිල අවසන් මොහොතේ කඩුලු 10 ක ජයක් ලැබූවද එය ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ පරාජය කරන ප‍්‍රමිතියේ නොතිබුණි.  ශ්‍රී ලංකා පන්දු යවන්නෝ දිනය අවසන් වීමට ආසන්නව තිබියදී සිම්බාබ්වේ දෙවැනි ඉනිම ලකුණු 170ට සීමාකරමින් ජයග‍්‍රාහී ඉලක්කය ඕවර 10 කදී ලකුණු 14ක් බවට පත්කර ගත්තේය. 

මෙහිදී වේගපන්දු යවන්නන් වන සුරංග ලක්මාල් සහ ළහිරු කුමාර කඩුලු 7ක් බෙදාගනිමින් ජයග‍්‍රහණයට ශක්තිය ලබාදුන්හ. සුරංග ලක්මාල් බ‍්‍රහස්පතින්දා පෙවරුවේ  ඕවර හයක් තුළ පළමු කඩුලු තුන ලකුණු 41ක් තුළ දවාගත්තද බ්‍රෙන්ඩන් ටේලර් සහ සියන් විලියම්ස් සිවුවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 79ක සම්බන්ධතාව ආරම්භයේදී බිඳ දැමීමට හැකියාව ලැබුණේ නම් මෙය ඉනිමක ජයග‍්‍රහණයක් වීමට ඉඩ තිබුණි.   

ඇන්ජලෝ මැතිව්ස්ගේ (නොදැවී 200) මංගල ටෙස්ට් ද්විත්ව ශතකයත් සමඟ ශ්‍රී ලංකා පිල කඩුලු නවයක් දැවී ලකුණු 515 ක් ලබා සිටියදී සිවුවැනි දිනයේ පස්වරුවේ ඉනිම අත්හිටුවීය. ඒ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ලකුණු 157 ක වාසියක් හිමිකරගත්තේය. 

සිම්බාබ්වේ පිල පළමු ඉනිමේදී ලකුණු 358 ක් රැස්කිරීමෙන් ආරම්භයේදීම ශ්‍රී ලංකා පිලේ ජයග‍්‍රහණයේ බලාපොරොත්තුව තරමක් මෑත් විය. එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ සිම්බාබ්වේ පිතිකරුවන් කිසිදු චකිතයකින් තොරව ලකුණු රැස්කළ ආකාරය වඩාත් කැපී පෙනුණි. මෙහිදී සිම්බාබ්වේ පිතිකරැවෝ පළමු ඉනිමේදී දින දෙකකට ආසන්න කාලයක් ගතකිරීම කැපී පෙනුණි. 

එහිදී සිම්බාබ්වේ පිලේ වඩාත් අත්දැකීම් ඇති ඉදිරිපෙළ පිතිකරුවන් මෙන්ම ඩොනල්ඩ් ටිරිපානෝ වැනි පන්දු යවන්නකු වන පසුපෙළ පිතිකරුවකුද සාර්ථක වීමෙන් ශ්‍රී ලංකාව ඇද වැටුණි. ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම දඟපන්දු යවන්නා වන ඩිල්රුවන් පෙරේරා බංකුවේ තැබූ තේරීම් කමිටුව ධනංජය ද සිල්වා නැවතත් පිට දඟපන්දු යවන්නා බවට පත්කළේය. එය එසේ වුවද ධනංජය ඕවර 21 ක් යැවුවද කඩුල්ලක් දවා ගැනීමට අපොහොසත් විය. ධනංජය ද සිල්වා මෙම තරගයේදීද කඩුල්ලක් දවාගැනීමට අපොහොසත් විය. 

පාකිස්තානයේදී පැවැති අවසන් ටෙස්ට් තරගයේදී කඩුලු දවාගැනීමට නොහැකි වීම ඩිල්රැවන්ට ස්ථානය අහිමි කිරීමට ප‍්‍රධාන හේතුව බවට පත්විය. එම කරච්චි තණතීරුවේ දඟපන්දු යවන්නන්ට කඩුලු දවාගැනීම දුෂ්කර බව පාකිස්තානු පිලේ ප‍්‍රධානම දඟපන්දු යවන්නා වන යෂීර් ෂා සම්පූර්ණ තරගයේදීම කඩුලු දෙකක් පමණක් දවා ගැනීමෙන් පැහැදිලි වේ. 

සුරංග ලක්මාල් ප‍්‍රබලතම පිතිකරුවන් දෙපළ වන ක්‍රෙග් අර්වින් (85) සහ බ්‍රෙන්ඩන් ටේලර් (21) දවා ගැනීමෙන් යම් තරමක සහනයක් ලැබුණි. පා දඟපන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය ඉන්පසුව කඩුලු දවාගැනීමෙන් සිම්බාබ්වේ පිලට ලකුණු 400 පසු කිරීමට තිබූ අවස්ථාව අහිමි කළේය. 

- වරකාගොඩ ගමගේ