2020 ජනවාරි 18 වන සෙනසුරාදා

ලොකුම බාධකය මාලිංග!

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 310

ලසිත් මාලිංග විස්සයි20 පිලේ නායකත්වයෙන් ඉවත්කර දසුන් ශානක නායකයා ලෙස පත්කරනු ඇති බවට පසුගිය සතිය ආරම්භයේ සිට කථා පැතිර ගියේය. ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ ආසන්නයේ විස්සයි20 තරගයක් නොමැති වීමෙන් හේතුවෙන් එවැනි දෙයක අවශ්‍යතාවක් නොමැති බවයි. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් රූපවාහිනී විකාශන අයිතිය අලෙවි කිරීමේ ගනුදෙනුව සහ විස්සයි20 පිලේ අසාර්ථකත්වය එකට බැඳී ඇති බවට ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ කථාබහට ලක්ව තිබේ. රූපවාහිනී අයිතිය උපරිම මිලට අලෙවි කිරීමට නම් මාලිංග නායකත්වයෙන් ඉවත්කළ යුතු බවට ක‍්‍රිකට් බලධාරීන් තුළ මතයක් නිර්මාණ වී ඇති බව දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම්වල දස්කම් අඩු මට්ටමක පැවතියහොත් රූපවාහිනී විකාශන අයිතියද අඩු මිලකට දීමට සිදුවේ. එම අවදානමෙන් ගැලවීම සඳහා ශ්‍රී ලංකා ක‍්‍රිකට් දස්කම් හැකි ඉක්මනින් ප‍්‍රදර්ශනය කළ යුතුව තිබේ. දසුන් ශානකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම 3x0 කින් විස්සයි20 ලෝක ශ්‍රේණිගත කිරීමේ අංක එක කණ්ඩායම ලෙස සිටි පාකිස්තානය පරාජය කිරීම නිසා දසුන් පිළිබඳව වැඩි විශ්වාසයක් නිර්මාණ වී තිබේ. 

“පන්තියේ ළමයි වැඩකරන්නේ නැත්නම් එකට පන්ති නායකයා මාරු කරලා හරියන්නේ නෑ... ඒත් ඒක විසඳුමක් නම් ඒකටත් මම ලෑස්තියි” යැයි ලසිත් මාලිංග, ඉන්දියාවට එරෙහිව විස්සයි20 තරගාවලියෙන් පරාජයෙන් පසුව නැවත ශ්‍රී ලංකාවට පැමිණ කටුනායක ගුවන් තොටුපළේදී පැවසීය. පන්ති නායකයාට පන්තිය සාර්ථකව පාලනය කළ නොහැකි නම් ඔහු ඉවත් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව මාලිංග නොදන්නවා විය හැකිය. 

මාලිංග පසුගිය වසරේ ජනවාරි මස නැවත විස්සයි20 පිලේ නායකත්වයට පත්වීමෙන් පසුව ඔහු යටතේ ශ්‍රී ලංකා පිල විස්සයි20 තරග 13 කට ක‍්‍රීඩා කර තිබේ. ඉන් තරග 11ක්ම ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබේ. තරගයක් ජය ලබා තරගයක් විසඳුමකින් තෙරරව අවසන්ව තිබේ. නවසීලන්තයට එරෙහිව පසුගිය වසරේ සැප්තැම්බර් මස පල්ලෙකැළේදී පැවැති අවසන් විස්සයි20 තරගය පමණක් මාලිංගගේ දෙවැනි නායකත්ව ගමනේ මේ දක්වා ජය ලබා තිබේ. මාලිංග පිටපිටම පන්දු හතරකින් කඩුලු හතරක් දවාගනිමින් ලකණු 6 කට කඩුලු 5ක් දවාගත් පන්දු යැවීම නොවන්නට එම තරගාවලියද 3x0 කින් පරාජය වීමට වැඩි ඉඩකඩක් තිබුණි.

“හොඳ විස්සයි-20 කණ්ඩායමක් පරාජය කරන්න අපි මීට වඩා හොඳ තනි පුද්ගල දක්‍ෂතා දැක්විය යුතු වෙනවා. අපි තරගාවලිය පුරාම ලබාගත්තේ එකම අර්ධ ශතකයක් විතරයි. පන්දු යවන්නන් ගත්තත් මමත්, අනෙක් පන්දු යවන්නෝත් සාර්ථක වුණේ නෑ.”

පරාජයට පත්වන සෑම තරගාවලියකින් පසුව මාලිංග වැනි ක‍්‍රීඩකයකුට මෙවැනි ප‍්‍රකාශ කර ගැලවිය නොහැකිය. අයි.පී.එල්. තරගාවලියට සහභාගි වී ඉන්දීය තණතීරු පිළිබඳව සහ ක‍්‍රීඩකයන් පිළිබඳව මනා අවබෝධයක් ඇති මාලිංග සතුව ඉන්දියාව මර්දනය කිරීමේ සැලසුම් තිබිය යුතුය. ක‍්‍රිකට් යනු කණ්ඩායම් ක‍්‍රීඩාවක් බව මාලිංග මතකයේ තබාගත යුතුය. තනි පුද්ගල දක්‍ෂතාවලට වඩා කණ්ඩායමක් ලෙස ගන්නා තීරණ වඩාත් වැදගත්ය.

ලසිත් මාලිංග නායකත්වයේ කටයුතු කරන තෙක් විස්සයි20 පිලේ සාර්ථකත්වයක් බලාපොරොත්තු විය නොහැක. ඔහුට අවශ්‍යව ඇත්තේ තමන්ට පාලනය කළ හැකි ක‍්‍රීඩකයන් පිරිසක් සමඟ ක‍්‍රීඩා කිරීම බව පසුගිය කාලය තුළ වැඩ සිද්ධ වූ ආකාරයෙන් පැහැදිලිය. පාකිස්තානු සංචාරයේදී වඩාත් සාර්ථක වූ දසුන් ශානක, භානුක රාජපක්‍ෂ වැනි ක‍්‍රීඩකයන් බංකුවේ තැබූ ආකාරයද ඉන්පසු තරගවලදී දැකිය හැකිවිය. එවැනි බොහෝ තීරණවලට මාලිංග සෘජුව මැදිහත් වූ බව කණ්ඩායම් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 

විස්සයි20 ක‍්‍රිකට් යනු පිතිකරුවන් මත රැඳී තිබෙන ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අංශයකි. වේගපන්දු යවන්නකු වන මාලිංග දස්කම් අතරට පැමිණ ‘හාවා හඳ දකින්නාක් මෙන්’ තරගයක් ජය ලබා පලක් නැත.   

 යොහාන් භාසුර