2020 ජනවාරි 11 වන සෙනසුරාදා

හතුරුසිංහ - ශ්‍රී ලංකා ක්‍රිකට් නීති සටන ඇරඹෙයි

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 61

ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඔහු පුහුණුකරු ධූරයෙන් ඉවත්කිරීම සහ පුහුණුකරු ධූරයෙන් ඉවත් කිරීමෙන් තම කීර්තිනාමයට සිදුවූයේ යැයි කියන හානියට අ‍ෙමරිකානු ඩොලර් මිලියන 5ක් හෙවත් රුපියල් කෝටි 90ක දැවැන්ත වන්දියක් ඉල්ලා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට පසුගිය සතියේ එන්තවාසියක් යොමුකර තිබුණි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙම දැවැන්ත වන්දි මුදල නොගෙවුවහොත් හතුරුසිංහ මහතා අන්තර්ජාතික බේරැම්කාර අධිකරණයේ නඩු පැවරීමට සූදානම් වෙයි.  

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ එම ඉවත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය  ඕනෑම අධිකරණයකට කරුණු දැක්වීමට සූදානම් බවයි.

“හතුරුසිංහ යොමුකර ඇති ලිපිය මේ වන විටත් අපි ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කරලා තියෙන්නේ. අපිත් නීතියට අනුව කටයුතු කරනවා’’ යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

හතුරුසිංහ මහතා 2018 වසරේ ජනවාරි මස නිල වශයෙන් ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු ආරම්භ කළ අතර පසුගිය වසරේ (2019) වසරේ එංගලන්තයේදී පැවැති ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ප‍්‍රදර්ශනය කළ අසාර්ථකත්වය මත අගෝස්තු මස සිට ඔහුගේ සේවය අත්හිටුවීය. සේවය අත්හිටුවීමෙන් පසුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය හතුරුසිංහ මහතා සමඟ සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලුව විසඳාගැනීමට අවස්ථා කීපයකදී උත්සාහ කළද හතුරුසිංහ මහතාගේ ප‍්‍රතිචාරය එතරම් සතුටුදායක නොවූ බව දැනගන්නට තිබේ.

හතුරුසිංහ මහතාට මාස හයක වැටුප් ලබාදී සේවයෙන් ඉවත්කිරීමට වරක ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් යෝජනා කර තිබුණද ඒ මහතා එයද ප‍්‍රතික්ෂේප කළ බව මීට පෙර වාර්තා විය. හතුරුසිංහ මහතාගේ මාස හයක වැටුපද රුපියල් කෝටි 5 ක් හෙවත් ලක්‍ෂ 500 ඉක්මවයි. හතුරුසිංහ මහතාගේ සේවය අත්හිටුවන විට ඒ මහතාට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය රුපියල් කෝටි 15 කට අධික මුදලක් වැටුප් සහ දීමනා ලෙස ගෙවා තිබුණි. 

මෙම තත්ත්වය මත ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය හතුරුසිංහ මහතා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වූ අතර එම පරීක්‍ෂණයේදී කරුණු දැක්වීමේ අවස්ථාව ලබාදුන්නද ඒ මහතා එය ප‍්‍රතික්ෂේප කළේය. ඒ අනුව ඒ මහතා නොමැතිව පරීක්‍ෂණය ක‍්‍රියාත්මක කළ අතර එහි වාර්තාව මේ වනවිට ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනයට ලැබී ඇති බව වාර්තා වේ. 

එම පරීක්‍ෂණයේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමනාකරුවන් සහ ක‍්‍රීඩකයන් කීපදෙනකු සාක්‍ෂි ලබාදී ඇති බවත් එම පරීක්‍ෂණ වාර්තාව හතුරුසිංහ මහතාට අවාසිදායක බවත් දැනගන්නට තිබේ. අගෝස්තු මස සේවය අත්හිටුවුවද ඔහුට ඔක්තෝබර් මස දක්වා වැටුප් ගෙවීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කටයුතු කළ බව වාර්තා වේ. හතුරුසිංහ මහතා මාසිකව රුපියල් ලක්‍ෂ 80ක පමණ වැටුපක් ලැබූ අතර 2019 වසරේ පළමු මාස හය තුළ හතුරුසිංහ මහතාගේ වැටුපේ සාමාන්‍ය ලක්‍ෂ 88ක් පමණ බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විගණන වාර්තාවකත් හෙළි කරයි.

එවකට ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් හතුරුසිංහ මහතා සේවයට බඳවා ගැනීම සඳහා එළඹ ගිවිසුමෙන් හතුරුසිංහ මහතාට වැඩි වාසියක් හිමිව ඇති බවට ද චෝදනා එල්ල වේ. හතුරුසිංහ මහතාගේ සේවය අවසන් කිරීම සම්බන්ධයෙන් ගිවිසුමේ මෙසේ සඳහන් වේ. 

“ගිවිසුමේ 10(d), ඡේදය අනුව, ගිවිසුමේ 10(b), හෝ ගිවිසුමේ 10(c) ඡේද ප‍්‍රකාරව හෝ කවර හේතුවක් මත හෝ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ඒකපාර්ශවිකව ගිවිසුම අවසාන කරන්නේ නම් පුහුණුකරු සඳහා වසරක වැටුප් හෝ ගිවිසුමේ ඉතිරි වූ කාලය සඳහා වැටුප හෝ අගයෙන් දෙකෙන් වඩා අඩු අගය ගෙවිය යුතුය.” 

මෙම වගන්තියට අනුව හතුරුසිංහ මහතාගේ මාස 12ක වැටුප් ඉල්ලා සිටි අතර එය රුපියල් කෝටි 10 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 1000ට ආසන්න මුදලකි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් මෙම දැවැන්ත මුදල ගෙවීම ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් හතුරුසිංහ මහතා මේ වනවිට නඩුමඟට අවතීරණ වී සිටියි. 

හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ලෙස කටයුතු කළ වසර එකහමාරක පමණ කාලය තුළ කණ්ඩායමේ ප‍්‍රගතියක් දැකිය නොහැකි වූ අතර කණ්ඩායමේ අභ්‍යන්තර ගැටලු රැසක් උද්ගත විය. මෙම තත්ත්වය පිළිබඳව අවධානය යොමුකළ එවකට ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාද හතුරැසිංහ ඉවත්කරන ලෙස ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කළේය. 

 වරකාගොඩ ගමගේ