2020 ජනවාරි 04 වන සෙනසුරාදා

උපුල් චන්දන හදිසියේ ඉවත් කළේ ඇයි?

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 204

ඕනෑම ක‍්‍රීඩාවක පුහුණුකරු යනු තීරණාත්මක සාධකයකි. එම සාධකය ක‍්‍රිකට් ක‍්‍රීඩාවට වඩාත් තීරණාත්මකය. පසුගිය සතිය වනවිට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන් සම්බන්ධයෙන් සිදු වෙමින් තිබූ වෙනස්කම්වල ඇතැම් තීරණ ක‍්‍රීඩාවට එතරම් සුබදායි ඒවා නොවුණි.

දකුණු අප‍්‍රිකාවේදී ලබන 17 වැනිදා ආරම්භ වන වයස 19න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට (යොවුන් ලෝක කුසලාන) සහභාගි වන ශ්‍රී ලංකා වයස 19න් පහළ පිලේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ උපුල් චන්දන එම තනතුරෙන් ඉවත්කිරීම පසුගිය සතියේ ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ දැඩි කථාබහට ලක්ව තිබුණි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන්ගේ නව ස්ථානගත කිරීම අනුව උපුල් චන්දන ඉවත්කර ඇති බවත් එම ස්ථානයට තාවකාලිකව ලංකා ද සිල්වා ස්ථානගත කර ඇති බවත් දැනගන්නට තිබේ.

පුහුණුකරු ස්ථානගත කිරීම කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලිය වැනි ප‍්‍රධාන තරගාවලියකට සහභාගි වන කණ්ඩායමේ දීර්ඝ කාලයක් කටයුතු කළ පුහුණුකරුවකු ඉවත්කිරීම එතරම් හොඳ තීරණයක් නොවේ. උපුල් චන්දන යනු ශ්‍රී ලංකා වර්තමාන ක‍්‍රිකට් පිටියේ සිටින වඩාත් ජ්‍යෙෂ්ඨතම පන්දු රැකීමේ පුහුණුකරුවෙකි. ඒ හේතුවෙන් ඔහු හදිසියේ ඉවත්කිරීම පිටුපස අදිසි හස්තයක් තිබිය හැකි බවට ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ කථාබහක් නිර්මාණය වී තිබේ. 

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ පුහුණුකරු හර්ෂ ද සිල්වාගේ පුහුණුකරු කොන්ත‍්‍රාත්තුව මේ මස අවසන් වන බවත් ඉන්පසුව එය දීර්ඝ නොකිරීමේ තත්ත්වයක් පවතින බවත් දැනගන්නට තිබේ. කාන්තා ක‍්‍රිකට් පිල දස්කම් නොදැවීම ප‍්‍රශ්නයක් බව අමුතුවෙන් කිවයුතු නැත. එය අනාදිමත් කාලයක් සිට පවතින ප‍්‍රශ්නයකි. ක‍්‍රිකට් පරිපාලනයට එන නිලධාරීන් එයට කළේ පුහුණුකරුවන්ට දොස් කියමින් පුහුණුකරුවන් මාරු කිරීමය. 

හර්ෂ ද සිල්වා ඉවත්වීමෙන් පසුව කාන්තා ක‍්‍රිකට් පිලේ හිටපු පුහුණුකරු ධූරයට කුරුණෑගල ප‍්‍රදේශයේ පුහුණුකරුවකු අනුයුක්ත කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. එම පුහුණුකරු මීට පෙරද කාන්තා පිලේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇති අතර ක‍්‍රීඩිකාවන්ගේ විරෝධය හමුවේ ඔහු ඉවත්කළ බවද දැනගන්නට තිබේ.

චමරි අතපත්තු වැනි ක‍්‍රීඩිකාවන් අවම වශයෙන් තවත් දෙදෙනකු හෝ ශ්‍රී ලංකා පිල සතුව සිටියේ නම් තරග ජයග‍්‍රහණ කරා යෑමේ අවස්ථාව තිබේ. මෙහිදී කළ යුත්තේ පුහුණුකරුවන් මාරු කිරීම නොව තරුණ ක‍්‍රීඩිකාවන් අතරින් දක්‍ෂ ක‍්‍රීඩිකාවන් කීපදෙනකු නිර්මාණය කිරීමය. මේ අතර ටෙස්ට් ක‍්‍රීඩකයන් වන මලින්ද වර්ණපුර සහ දිනුක් හෙට්ටිආරච්චි, එක්දින පිල නියෝජනය කළ සංජීව වීරකෝන් සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල නියෝජනය කළ ධම්මික සුදර්ශන ‘ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ’ පුහුණුකරුවන් ලෙස පසුගිය සතියේ වැඩ ආරම්භ කළහ. 

පාසල් ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ දස්කම් ප‍්‍රදර්ශනය කළ මෙම පුහුණුකරුවන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට බඳවාගැනීම හොඳ ආයෝජනයකි. අත්දැකීම් ඇති තරුණ පුහුණුකරුවන් වන මෙම සිවුදෙනා හැකියාව පෙන්වීමට වඩාත් උනන්දුවනවාට සැක නැත. 

I විශේෂ ලියුම්කරුවකු විසිනි