2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

පකිස්තානයෙන් මෙදා බැටිං ප්‍රහාරයක්

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 95

පාකිස්තානයට එරෙහිව කරච්චිහිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 263 කින් පරාජයට පත්වෙමින් වසර 27 කට පසු පාකිස්තානු භූමියේදී ටෙස්ට් තරගාවලි පරාජයක් ලැබීය. පාකිස්තානය 2006 වසරෙන් පසුව පාකිස්තානයේදී ලැබූ මෙම ටෙස්ට් තරග ජයග‍්‍රහණයත් සමඟ 1x0 ක් ලෙස තරගාවලි ජය තහවුරු කළේය. පාකිස්තානය මෙම ජයග‍්‍රහණයත් සමඟ ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පැමිණියේය. ශ්‍රී ලංකාව මෙම තරගයට පෙර ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවුවද මෙම පරාජයත් සමඟ සිවුවැනි ස්ථානය දක්වා පහතට ඇද වැටුණි. 

ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීමේ අංශයේ දුර්වලතාව මෙම පරාජයට ප‍්‍රධාන සාධකය බවට පත්විය. සුරංග ලක්මාල් රෝගී වීම සහ කසුන් රාජිත පළමු ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා වේග පන්දු යැවීමේ අංශය අඩපණ විය. පාකිස්තානය එහි වාසිය ලබාගැනීම සඳහා වේග පන්දු යවන්නන්ට වඩාත් වාසිදායක තණතීරු ටෙස්ට් තරග දෙක සඳහාම සකස්කර තිබුණි. රාවල්පිණ්ඩි නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගය අයහපත් කාලගුණය හේතුවෙන් වැඩි කාලයක් පැවැත්වීමට නොහැකිවීම මෙම ප‍්‍රතිඵලය දෙස බැලීමේදී ශ්‍රී ලංකාවට වාසි ගෙන දුන් බව කිවයුතුය.

පාකිස්තානය පළමු තරගයේදී සිය ප‍්‍රබලතම දඟපන්දු යවන්නා වන යසීර් ෂා ද එළියෙන් තබා වේගපන්දු යවන්නන් සිවුදෙනකුගෙන් තරගයට පිවිසියේ මෙවැනිම ප‍්‍රතිඵලයක් බලාපොරොත්තුවෙනි. ශහීන් ෂා අෆ්රිඩි, මොහොමඩ් අබ්බාස් සහ නසීම් ෂා යන වේග පන්දු යවන්නන් තිදෙනාගෙන් සන්නද්ධව පාකිස්තානු පිල කරච්චි තරගයට පිවිසියේය. ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු නවයෙන් අෆ්රිඩි කඩුලු 5 ක් සහ අබ්බාස් කඩුලු 4 ක් ලෙස බෙදාගත්හ.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී නසීම් ෂා දවාගත් කඩුලු 5 ත් සමඟ වේගපන්දු යවන්නෝ කඩුලු 7ක් දවාගැනීමට සමත් වූහ. මේ අනුව ශ්‍රී ලංකා ඉනිම දෙකේදී බිඳ වැටුණු කඩුලු 20 න් කඩුලු 16 ක්ම වේගපන්දු යවන්නන් දවාගෙන තිබේ. ශ්‍රී ලංකා පිල පාකිස්තානු ඉනිම දෙකේදී දවාගත් කඩුලු 13න් වේගපන්දු යවන ළහිරු කුමාර දවාගත් කඩුලු 6ත් සමඟ වේගපන්දු යවන්නන් කඩුලු 8ක් දවාගෙන තිබේ. 

වමතින් දඟපන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය පළමු ඉනිමේදී දවාගත් කඩුලු හතරත් සමඟ කඩුලු 5ක් දවාගැනීමට සමත් විය. ඇඹුල්දෙණිය පළමු ඉනිමේදී දවාගත් කඩුලු හතර පාකිස්තානය පළමු ඉනිමේදී දුර්වලවීමට ප‍්‍රධාන හේතුව බවට පත්විය. ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම දඟ පන්දු යවන්නා වන ඩිල්රුවන් පෙරේරා ඉනිම දෙකේදීම කඩුල්ලක් හෝ දවාගැනීමට අපොහොසත් වීම මෙහිදී වඩාත් කැපී පෙනුණි. ඩිල්රුවන්ගේ පන්දු යැවීමේ රටාවට කරච්චි තණතීරුව කිසිදු සහයෝගයක් නොදුන් බව එහිදී පැහැදිලිය. 

පාකිස්තානු පිලේ ප‍්‍රබලතම දඟ පන්දු යවන්නා වන යසීර් ෂා පළමු ඉනිමේදී කඩුල්ලක් දවාගැනීමට අපොහොසත් වූ අතර දෙවැනි ඉනිමේදී කඩුලු දෙකක් පමණක් දවාගත්තේය. එහිදී 16 හැවිරිදි නසීම් ෂා දෙවැනි ඉනිමේදී කඩුලු 5ක් දවාගනිමින් ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ඉතිසාසයේ කඩුලු 5ක් දවාගත් ලාබාලතම වේගපන්දු යවන්නා බවටද පත්විය.  

දෙපිලේම කඩුලු දවාගැනීමේ වාර්තාව පිළිබඳව අවධානය යොමු කිරීමේදී පාකිස්තානු සැලැස්ම සම්පූර්ණයෙන්ම සාර්ථක වී තිබේ. ශ්‍රී ලංකා වේග පන්දු යැවීමේ අංශය දුර්වල තිබුණ ද පාකිස්තානය සතුව ප‍්‍රබල වේගපන්දු යවන්නන් සිවුදෙනෙක් සිටියහ. ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේ ලකුණු 80 ක වාසියක් ලබාසිටියදී පාකිස්තානු පිතිකරුවෝ දෙවැනි ඉනිමේදී කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 555 ක් රුස්කිරීම කැපී පෙනුණි. එහිදී පාකිස්තානු මුල් පෙළ පිතිකරුවන් සිවුදෙනාම ශතක රැස්කරමින් ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ එවැනි දස්කමක් දැක්වූ දෙවැනි අවස්ථාව වාර්තා පොතට එකතු කළහ.

මෙහිදී සිය දෙවැනි ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කළ අබීඩ් අලි පන්දු 281 කදී හතරේ පහර 21 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 174 ක් රැස්කළේය. එම ඉනිම ශ්‍රී ලංකාවෙන් තරගය ඈත් කළේය. අබීඩ් අලි ආධුනික පිතිකරුවකු වීම නිසා ඔහුගේ පිතිහරඹය පිළිබඳව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එතරම් අවබෝධයක් නොතිබුණා විය හැකිය. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිතිකරුවන් දෙවැනි ඉනිමේදී පන්දුවට පහර දුන් ආකාරය පිළිබඳව සෑහීමට පත්විය නොහැක. එහිදී කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා ඇතුළු පිතිකරුවන් පස්දෙනෙක් ලකුණු නොලබා දැවී ගියහ.  

“අපේ කණ්ඩායමට මෙම තරගයේදී වැරදුණු අවස්ථා කීපයක් තියෙනවා. පන්දුවට පහර දීමේදී අපි ප‍්‍රබල තත්ත්වයක ඉඳලා එකවරම කඩුලු දෙක තුනක් දෙනවා. ඒ වගේම විශාල සම්බන්ධතා ගොඩනැගීමට අපොහොසත් වුණා. අපේ පන්දු යවන්නන් පාකිස්තානු දෙවැනි ඉනිමේදී හොඳින් පන්දු යැව්වේ නෑ කියන එක පිළිගන්න ඕනේ” යැයි ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න පරාජයෙන් පසුව පැවසීය. 

මෙම ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව තව දුරටත් අවධානය යොමු කළ යුතු කරුණු කීපයක් තිබේ. එහි පළමුවැන්න විය යුත්තේ නිරෝෂන් දික්වැල්ල පිතිකරුවකු ලෙස ටෙස්ට් තරගයකට සුදුසුද යන්නය. ඔහුගේ දෙවැනි ඉනිමේදී ලකුණු 65ක් රැස්කළද ඔහු අවස්ථාවට ගැලපෙන ටෙස්ට් ඉනිමක් ක‍්‍රීඩා කළේද යන්න තවදුරටත් විශ්ලේෂණය කළ යුතුය. 

රොෂේන් සිල්වා වැනි පිතිකරුවන් මඟ හරිමින් දික්වැල්ල වැනි ක‍්‍රීඩකයන් පසුපෙළ ක‍්‍රීඩා කරවීම වඩාත් කණගාටුදායකය. දිනේෂ් චන්දිමාල් නැවත කඩුලු රකින්නා ලෙස කැඳවමින් පසු පෙළට රොෂේන් වැනි ටෙස්ට් ක‍්‍රීඩකයකු ආදේශ කළ යුතුය. තවද කුසල් මෙන්ඩිස්ට අඛණ්ඩව දෙන අවස්ථාව වෙනත් ක‍්‍රීඩකයකු ද පිරිනැමීමට තේරීම් කමිටුව පරිත්‍යාගශීලි වීමට නැවතත් අවස්ථාව පැමිණ තිබේ. 

පාකිස්තානයේදී ලැබූ පරාජයෙන් පන්නරය ලබාගෙන සිම්බාබ්වේට එරෙහිව ලබන ජනවාරි මස පැවැත්වෙන ටෙස්ට් සංචාරයට සූදානම් විය යුතුය. 

 යොහාන් භාසුර

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00