2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

ඉන්දීය සංචාරයටත් කුසල් මෙන්ඩිස් ඔබන්න හදයි

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 269

ඉන්දියාවට එරෙහිව ලබන ජනවාරි මස 5 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා ඇතුළත් කිරීමට තේරීම් කමිටුව කරන්නේ යැයි කියන උත්සාහයට ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයකුගේ විරෝධය එල්ල වී ඇති බව දැනගන්නට තිබේ. අසන්ත ද මෙල්ගේ සභාපතිත්වයෙන් යුත් ක‍්‍රිකට් තේරීම් කමිටුවේ ‘අටුව කඩා පුටුව හැදීමේ’ ක‍්‍රියාවලියට මේ වනවිට අදාළ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයා දැඩි විරෝධය පළකර ඇති බව ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. 

ශ්‍රී ලංකා පිලේ අවසන් විස්සයි20 තරගාවලිය වන ඕස්ට්‍රේ ලියානු  සංචාරයට කුසල් මෙන්ඩිස් සහභාගි වුවද ධනංජය ද සිල්වා ඇතුළත් වූයේ නැත. ඉන්පසුව ධනංජය නැවත සංචිතයට පැමිණීමට තරම් දස්කම් ප‍්‍රදර්ශනය කර නොමැත. කුසල් මෙන්ඩිස් ද ඕස්ට්‍රේ ලියානු  තරගාවලියේ තරග තුනකදී ලකුණු 14 ක් පමණක් රැස්කර තිබුණි. ධනංජය ද සිල්වා සංචිතයට ඇතුළත් කළහොත් ෂෙහාන් ජයසූරිය වැනි විස්සයි20 තරගවලට වඩාත් සුදුසු ක‍්‍රීඩකයකුගේ ස්ථානය අහිමිවීමේ අවදානමක් උද්ගත වේ.

එම ඕස්ට්‍රේලියානු  සංචාරයේදී ශ්‍රී ලංකා පිලට අත්දැකීම් පිළිබඳ ඌණතාවක් ප‍්‍රදර්ශනය කළ අතර ඒ හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් වැනි ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයෙක් සංචිතයට ඇතුළත් කිරීමේ වරදක් නැත. මැතිව්ස්, අබුඩාබිහිදී පැවැති ටී10 තරගාවලියේ දස්කම් දැක්වීම විස්සයි20 සංචිතයට කැඳවීමට හොඳ සාක්‍ෂියකි. ඕස්ට්‍රේ ලියානු සංචාරයට සහභාගි වූ සංචිතයෙන් කුසල් මෙන්ඩිස් ඉවත්කර ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් කරන්නේ නම් එහි වාසියක් මිස අවාසියක් නැත.

මෙම ඉන්දීය විස්සයි20 තරග තුන හුදෙක්ම විස්සයි20 තරගාවලියක් පමණක් නොවන අතර  ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ශක්තිමත් කණ්ඩායමක් නිර්මාණය කිරීමට ලැබෙන මහඟු අවස්ථාවකි. සංචිතය වෙනස් කරමින් එවැනි අවස්ථාවක් පල රහිත කිරීම ජාතික අපරාධයකි. ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන සංචිතය අඛණ්ඩව ක‍්‍රීඩා කරමින් සම්බන්ධතාව ගොඩනඟා ගැනීම වඩාත් ප‍්‍රයෝජනවත් වේ.

භානුක රාජපක්‍ෂ, අවිෂ්ක ප‍්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය සහ ඕෂධ ප‍්‍රනාන්දු වැනි පන්දුවට රිදෙන්න පහර දෙන ක‍්‍රීඩකයන් විස්සයි20 පිලේ සිටිය යුතුය. ජ්‍යෙෂ්ඨයන් යැයි පවසා කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා වැනි ක‍්‍රීඩකයන් අකලට වැහින්නාක් මෙන් ලකුණු රැස්කිරීමෙන් කණ්ඩායමට ප‍්‍රයෝජනයක් නොමැත.  

හතුරුසිංහ මහතාට පුහුණුකරු ධූරයේ කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වූයේද මෙවැනිම ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් ඔහු වටා රොක්වී කණ්ඩායමට පැමිණීම හේතුවෙනි. නව පුහුණුකරු මිකී ආතර් මහතාද එවැනිම තත්ත්වයකට මේ වනවිට මුහුණ දී සිටින බව කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි.  

 වරකාගොඩ ගමගේ