2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

ශ්‍රී ලංකාව රනින් බැබළවූ නේපාල සාග් ක්‍රීඩා උළෙල

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 148

නේපාලයේදී පසුගිය අඟහරුවාදා අවසන් වූ 13 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී (සාග් ක‍්‍රීඩා උළෙල) ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ප‍්‍රදර්ශනය කළ අනපේක්‍ෂිත දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉලක්කය පසුකර යෑමේ අවස්ථාව උදාවිය. ශ්‍රී ලංකාව රන් පදක්කම් 40ක්, රිදී පදක්කම් 83ක් සහ ලෝකඩ පදක්කම් 128ක් සමගින් සමස්ත පදක්කම් 251ක් ලබා තෙවැනි ස්ථානයට පත්විය.

ශ්‍රී ලංකාව මීට වසරකට පමණ පෙර පුහුණු සංචිත ආරම්භ කරන විට රන් පදක්කම් 35ක්, රිදී පදක්කම් 75ක් සහ ලෝකඩ පදක්කම් 125ක් දිනාගැනීමේ ඉලක්කයක් තබාගෙන සිටියේය. ශ්‍රී ලංකාව දිනාගත් මෙම පදක්කම් 40න් පදක්කම් 15ක් මලල ක‍්‍රීඩා ඉසව්වලින් දිනාගැනීම වඩාත් කැපී පෙනුණි. ශ්‍රී ලංකාව මලල ක‍්‍රීඩා ඉසව්වලින් පදක්කම් 14ක් දිනාගැනීමේ ඉලක්කයක් තබාගෙන සිටියද එය අභිබවා යෑමට මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත් වූහ. මෙම මලල ක‍්‍රීඩා පදක්කම් 15, සාග් ක‍්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව මලල ක‍්‍රීඩා ඉසව්වලින් දිනූ වැඩිම පදක්කම් සංඛ්‍යාව සම කිරීමකි. 1991 වසරේ කොළඹදී පැවැති 5 වැනි සාග් ක‍්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව මලල ක‍්‍රීඩාවෙන් රන් පදක්කම් 15ක් දිනාගනිමින් වැඩිම මලල ක‍්‍රීඩා පදක්කම් වාර්තාව තබා සිටියේය. 

මෙවර ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ වසර 28ක් පැරණි මලල ක‍්‍රීඩා වාර්තාව සම කරමින් ඉන්දියාව පසුපසට තල්ලු කිරීමට සමත් වූහ. ශ්‍රී ලංකා කෙටිධාවන ශූර හිමාෂ ඒෂාන් මීටර 100 පිරිමි ඉසව්වෙන් තත්ත්පරයෙන් දශමයක කාලයකින් මාලදිවයින් ක‍්‍රීඩකයා හමුවේ පරාජයට පත්නොවුණේ නම් ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා රන් පදක්කම සංඛ්‍යාව 16 ක් බවට පත්වේ. 

මෙම පදක්කම් 15 තුළ කෙටිදුර ධාවන ශූරී දිල්ෂි කුමාරසිංහ වඩාත් කැපී පෙනුණාය. ඇය මීටර 400, මීටර 800 සහ මීටර 400X4 සහහ දිවීම යන ඉසව්වලින් රන් පදක්කම් දිනාගැනීමට සමත් වූවාය. මෙවර සාග් ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා පිටියේ මීටර 400X4 සහහ දිවීමේ ඉසව්ව දිල්ෂි ජය ලැබූ ආකාරය බොහෝ දෙනාගේ ආකර්ෂණයට සහ විශ්මයට ලක්විය. දිල්ෂි සිව්වැනි ක‍්‍රීඩිකාව ලෙස යෂ්ඨිය අතට ගන්නා විට ඉන්දීය ක‍්‍රීඩිකාව සිටියේ මීටර 25ක් පමණ ඉදිරියෙනි. අනගි ධාවනක යෙදුණු දිල්ෂි පළමුවෙන්ම පාකිස්තානු ක‍්‍රීඩිකාව පසුකරමින්, අවසන් මීටර 10 යේදී පමණ ඉන්දීය ක‍්‍රීඩිකාව පසු කරමින් රන් පදක්කම ශ්‍රී ලංකාව ඉදිරියෙන් සටහන් කිරීම කැපී පෙනුණි. 

වසර 35 කට ඉතිහාසයකට හිමිකම් කියන සාග් ක‍්‍රීඩා ඉතිහාසයේ පළමු වරට මෙම ක‍්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව මැරතන් කාන්තා රන් පදක්කම දිනාගැනීමට හිරැණි කේසරා විජේරත්න සමත් වූවාය. ඇමරිකාවේ ජීවත්වන ද්විත්ව පුරවැසිලාභිනියක් වන හිරුණි පසුගිය කාලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මැරතන් සහ දිගුදුර ඉසව් සඳහා ජාත්‍යන්තර තරගාවලි කීපයකට සහභාගිවෙමින් අසාර්ථක වුවද ඇය මෙවර සාර්ථක ප‍්‍රතිඵල නෙලාගත්තාය. ඇය මෙම ක‍්‍රීඩා උළෙලේ මීටර 10,000 කාන්තා ඉසව්වට සහභාගි වෙමින් සිව්වැනි ස්ථානයට පත්වූවාය. නිලානි රත්නායක මීටර 1500 සහ මීටර 5000 යන ඉසව්වලින් රන් පදක්කම් දිනාගත්තාය. 

ශ්‍රී ලංකා රන් පදක්කම් සංඛ්‍යාව පිළිබඳව කථා කිරීමේදී පිහිනුම් ශූර මැතිව් අබේසිංහ අමතක කළ නොහැක. මෙහිදී ශ්‍රී ලංකාව පිහිනුම් ඉසව්වලින් දිනාගත් පදක්කම් අටටම මැතිව් අබේසිංහ සම්මාදම් වීම කැපී පෙනුණි. එහිදී මැතිව් තනි ඉසව් හතකින් රන් පදක්කම් දිනාගත්තේය. මැතිව් 2016 වසරේ 12 වැනි සාග් ක‍්‍රීඩා උළෙලේදී රන් පදක්කම් හතක් දිනාගත් අතර මෙවර එය පදක්කමකින් ඉදිරියට ගෙන ඒමට සමත් විය. ශ්‍රී ලංකාව 2016 වසරේ පිහිනුම් ඉසව්වලින් රන් පදක්කම් 12ක් දිනාගත්තද මෙවර එය අටක් දක්වා අඩුවීම කැපී පෙනේ.

ශ්‍රී ලංකා රන් පදක්කම් 40ට ටයිකොන්ඩෝ ක‍්‍රීඩාවෙන් එකතු වූ රන් පදක්කම් හතරද වඩාත් ප‍්‍රයෝජවත් විය. ශ්‍රී ලංකාව පළමු වරට ගොල්ෆ් ක‍්‍රීඩාවෙන් රන් පදක්කම් දෙකක් දිනාගැනීම මෙවර ක‍්‍රීඩා උළෙලේ තවත් කැපී පෙනෙන සිද්ධියක් බවට පත්විය. එහිදී ශ්‍රී ලංකාව ගොල්ෆ් කේවල (කාන්තා) සහ කණ්ඩායම් (කාන්තා) යන ඉසව් දෙකේ රන් පදක්කම් දිනාගැනීමට සමත් විය. ගේ‍්‍රස් යටවර කේවල ඉසව්වේ රන් පදක්කම් ලාභිනිය බවට පත්වූවාය. මෙවර ක‍්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ රන් පදක්කම් බලාපොරොත්තුවක් වූ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකකින් සෑහීමට පත්වීමට සිදුවිය. 

මෙවර සාග් ක‍්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව මලල ක‍්‍රීඩාවෙන් දියුණුවක් පෙන්නුම් කළද සමස්තයක් ලෙස ගතහොත් සෙසු ක‍්‍රීඩාවලින් පසුබෑමක් ප‍්‍රදර්ශනය කළේය. පිහිනුම් ක‍්‍රීඩාවේදී කාන්තා අංශයෙන් එකම රන් පදක්කමක් හෝ දිනාගැනීමට අපොහොසත් වීම කැපී පෙනුණි. පාපැදි, බර ඉසිලීම සහ බොක්සිං යන ක‍්‍රීඩාවලින් රන් පදක්කම් ලැබුණේ නම් ශ්‍රී ලංකාවට දෙවැනි ස්ථානය ආරක්‍ෂා කරගැනීමේ අවස්ථාව තිබුණි. 

මෙවර ක‍්‍රීඩා උළෙලේදී සත්කාරක නේපාලය රන් පදක්කම් 51 ක් දිනාගනිමින් ශ්‍රී ලංකාව තෙවැනි තැනට තල්ලු කිරීම පෙරළියකි. නේපාලය 2016 වසරේ ඉන්දියාවේදී පැවැති 12 වැනි සාග් ක‍්‍රීඩා උළෙලේදී රන් පදක්කම් තුනක් පමණක් දිනාගත් පසුබිමක් තුළ එය පදක්කම් 48 කින් වර්ධනය කරගැනීම විශේෂත්වයකි. ඉන්දියාව 2016 වසරේ රන් පදක්කම් 188 ක් දිනාගත් අතර මෙවර එය 174 ක් දක්වා අඩුවී තිබුණි. 

ඉන්දියාව මෙම ක‍්‍රීඩා උළෙලට දෙවැනි පෙළ මලල ක‍්‍රීඩා කණ්ඩායමක් සහභාගි කරවීම මෙම පදක්කම් අඩුවීමට එක හේතුවක් බවට පත්විය. ඉන්දීය ප‍්‍රබල මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ලබන වසරේ ජපානයේදී පැවැත්වෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් විදේශයන්හි පුහුණුවීම් කරන බව වාර්තා වේ. ශ්‍රී ලංකාවෙන් මෙම ක‍්‍රීඩා උළෙලට 600 කට ආසන්න ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිරිසක් සහභාගි කරවූ අතර සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායම් 900 කට ආසන්න වූ බව නේපාලයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් මහජන මුදල් කෝටි 35 කට අධික මුදලක් වැය කළ බවද අමතක නොකළ යුතුය. 14 වැනි සාග් ක‍්‍රීඩා උළෙල පාකිස්තානයේදී පැවැත්වීමට නියමිතය.   


 යොහාන් භාසුර