2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

කුසල් මෙන්ඩිස් - චන්දිමාල් යළිත් අසාර්ථකයි: ධනංජයගෙන් විශිෂ්ට ඉනිමක්

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 174

පාකිස්තානයට වසර 10 කට අධික කාලයකට පසුව ටෙස්ට් ක‍්‍රිකට් තරගයක් ගෙන එමින් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර රාවල්පිණ්ඩි නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ පසුගිය බ‍්‍රහස්පතින්දා පස්වරුවේ ක‍්‍රීඩාව අවසන් කරන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සඳහා කඩුලු හයක් දැවී ලකුණු 263 ක් රැස්කිරීමට සමත්ව සිටියේය.

පළමු දිනයේ අයහපත් ආලෝක තත්ත්වය නිසාත්, දෙවැනි දිනයේ වාර්ෂාව නිසාත් දින දෙකේදී යැවිය හැකි වූයේ ඕවර 86.3 ක් පමණි. ධනංජය ද සිල්වා (නොදැවී 72) සහ නිරෝෂන් දික්වැල්ල (33) හයවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 67ක සම්බන්ධතාවයෙන් ශ්‍රී ලංකා පිල ශක්තිමත් විය. කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් අසාර්ථක වීමෙන් ශ්‍රී ලංකා ඉනිම අවිනිශ්චිත තත්ත්වයකට වැටුණි. ඉන්පසුව ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා පස්වැනි කඩුල්ලට ලකුණු 62ක සම්බන්ධතාවක් පවත්වමින් ගෞරවනීය තැනකට රැගෙන ආහ. නායක දිමුත් කරුණාරත්න (59) සහ  ඕෂධ ප‍්‍රනාන්දු (40) ගොඩනැගූ ලකුණු 96 ක ආරම්භක සම්බන්ධතාව හොඳ අඩිතාලමක් බවට පත්විය. 

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම 2009 වසරේ මාර්තු මස ලාහෝර් නුවරදී ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයට ලක්වීමෙන් පසුව පාකිස්තානයේදී ටෙස්ට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වේ. මෙම සිද්ධියෙන් පසුව වසර 10 කට අධික කාලයක් පාකිස්තානය සත්කාරත්වය දැරූ ටෙස්ට් තරග එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි, අබුඩාබි සහ සාජා යන ක‍්‍රීඩාංගණවලදී පැවැත්විණි. පාකිස්තානය මෙම තරගය වඩාත් උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම තරගයට විශේෂ ආරාධිතයන් ලෙස ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක‍්‍රිකට් නායක බන්දුල වර්ණපුර සහ පාකිස්තානු හිටපු කීර්තිමත් ක‍්‍රිකට් නායකයකු වන ජාවෙඩ් මියන්ඩාඩ් යන මහත්වරුද ආරාධනා ලැබූහ.  

ශ්‍රී ලංකා පිල කාලයකට පසුව වේගපන්දු යවන්නන් තිදෙනකු සමඟ ආසියාවේදී ටෙස්ට් තරගයකට සහභාගි වීමට කැපී පෙනේ. සංචිතයේ මේ වනවිට සිටින වේගපන්දු යවන්නන් තිදෙනා වන විශ්ව ප‍්‍රනාන්දු, කසුන් රාජිත සහ ළහිරැ කුමාර මෙම තරගයට කැඳවා සිටිති. ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම වේගපන්දු යවන්නා වන සුරංග ලක්මාල් සංචාරයට පිටත්ව යෑමට දින කීපයකට පෙර ඩෙංගු රෝහය වැළඳීමෙන් රෝහල්ගත වීම නිසා ඔහුට සංචාරය අහිමිවිය.

එම ස්ථානයට අසිත ප‍්‍රනාන්දු ආදේශ කළ අතර ඔහු සාග් ක‍්‍රීඩා උලෙළට සහභාගි වී පසුගිය බදාදා රාත‍්‍රී නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු පසුගිය සිකුරාදා (13)  පාකිස්තානය බලා පිටත්ව ගියේය. මෙහිදී නිත්‍ය පිතිකරුවන් හය දෙනකුගෙන් පිතිකරු ලැයිස්තුව ශක්තිමත් කර තිබුණි. දිමුත් කරුණාරත්න, ඕෂධ ප‍්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස් සහ නිරෝෂන් දික්වැල්ල පිතිකරුවන් ලෙස තරගයට සහභාගිවී සිටියහ. ධනංජය ද සිල්වා තුන් ඉරියව් ක‍්‍රීඩකයක භූමිකාවට පණ පොවයි. පිට දඟපන්දු යවන ඩිල්රුවන් පෙරේරා එකම නිත්‍ය දඟපන්දු යවන්නා බවට පත්ව සිටියි.

පාකිස්තානය දඟපන්දු යවන්නකු නොමැතිව නිත්‍ය වේගපන්දු යවන්නන් සිවුදෙනකුගෙන් තරගයට පිවිස අමාරුවේ වැටුණි. මෙම සංචාරයේදීද ශ්‍රී ලංකා පිලට අති විශේෂ ආරක්‍ෂාවක් ලබාදී ඇති අතර ක‍්‍රීඩකයන්ට පුහුණුවීම් නොමැති අවස්ථාවලදී හෝටල් කාමරයට කොටුවී සිටීමට සිදුවී ඇති බව වාර්තා වේ. 

I යොහාන් භාසුර