2017 මාර්තු 18 වන සෙනසුරාදා

ක්‍රීඩා පනතට තවත් සංශෝධන... සංශෝධන...

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 124

 

ක‍්‍රීඩා අමාත්‍යංශය වසර හතරක් තුළ ක‍්‍රීඩා පනත හයවරක් සංශෝධන කළ ද හත්වැනි සංශෝධනයටත් සූදානම් වීම කණගාටුදායක තත්ත්වයක් බවට පත්ව තිබේ. වර්තමාන ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ පාලන කාලය තුළ මේ වනවිට හයවරක් ක‍්‍රීඩා පනත සංශෝධනය කෙරී තිබේ. ක‍්‍රීඩා පනත සම්බන්ධයෙන් 2013 වසරේ සිට ඇති වී ඇති ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩා සංගම් සහ ජාතික ඔලිම්පික් කමිටුව අයාලේ යන තත්ත්වයක් නිර්මාණ වී වසර ගණනාවක් ගතවී තිබේ. 

මෙම කාලය තුළ මහින්දානන්ද අලුත්ගමගේ සහ නවීන් දිසානායක යන ක‍්‍රීඩා අමාත්‍යවරුන් ඇතුළු තිදෙනකු වගකීම දැරුවද විසඳුමක් නොලැබුණි. වත්මන් ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ මැදිහත් වීමෙන් පසුගිය පෙබරවාරි මස 13 වැනිදා නව ගැසට් පත‍්‍රයක් නිකුත් කළද එයට ද පෙබරවාරි 23 වැනි නැවතත් රෙගුලාසි එකතු කර ඇති බව වාර්තා වේ. 

හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මැදිහත් වීමෙන් 2013 වසරේ ජනවාරි මස 15 වැනිදා පළමු වරට අති විශේෂ ගැසට් පත‍්‍රයක් ඔස්සේ ක‍්‍රීඩා පනතේ ජාතික ක‍්‍රීඩා සංගම් රෙගුලාසි සංශෝධනය කෙරිණි. 

වර්තමාන ක‍්‍රීඩා අමාත්‍යවරයා යටතේ 2015 මාර්තු 25, 2015 නොවැම්බර් 9 වැනිදා, 2016 ඔක්තෝබර් මස 23 වැනිදා, 2017 පෙබරවාරි 13 වැනිදා සහ 2017 පෙබරවාරි 23 ක‍්‍රීඩා පනත සංශෝධන සහ රෙගුලාසි වෙනස් කිරීම් කළ බව ක‍්‍රීඩා සංගම් ප‍්‍රවීණයෝ පවසති. මෙහි හාස්‍ය දනවන සිද්ධිය බවට පත්ව ඇත්තේ නැවත පසුගිය බදාදාට පෙර සංශෝධන ඇත්නම් ඉදිරිපත් කරන ලෙස ක‍්‍රීඩා සංගම්වලට දැනුම්දී තිබීමය. ශ්‍රී ලංකාව වැනි නීති විශාරයන්ගෙන් අඩුවක් නැති රටක ක‍්‍රීඩා පනත වැනි පනතක් සංශෝධනය කිරීම විහිළුවක් බවට පත්කිරීමට ක‍්‍රීඩා අමාත්‍යංශය සමඟ ශ්‍රී ලංකාවේ නීතිය සමඟ කටයුතු කරන ආයතනද වගකිව යුතුය.

මෙම රෙගුලාසි වෙනස් කිරීමේදී ඇතැම් වගන්ති සිංහල භාෂාවෙන් ව්‍යාකූල තත්ත්වයට පත්ව තිබීම වඩාත් කනගාටුදායකය. උදාහරණයක් ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු හෝ යම් පළාත් සභාවක හෝ පළාත් පාලන ආයතනයක සභිකයකු වී සිටී නම් හෝ එසේ පත් වේ නම් යන ලෙස සඳහන්ව තිබෙන වගන්තියේ සීමා පැනවීම ඉතාමත් දුර්වල තත්ත්වයක පවතී. එහි සීමාකරණ වචන රැසක් එක්කරමින් ඉතාමත් පහළ තරගාවලියකට සහභාගි වූ දේශපාලනඥයකුට හෝ ක‍්‍රීඩා සංගම්වලට පැමිණීමේ අවස්ථාව ලබාදී ඇති බව පැහැදිළි වේ. 

මෙම ක‍්‍රීඩා සංශෝධන තුළ මෙවැනි දුර්වලතා රැසක් පවතින බව ක‍්‍රීඩා සංගම් ප‍්‍රවීණයෝ පවසති. ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය පමණක් මේ වනවිට නව දුර්වලතා 13ක් හඳුනාගෙන ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය හමුවේ ඇතැම් ක‍්‍රීඩා සමාජවල සහ ජාතික ඔලිම්පික් කමිටුවේ  ස්ථිර සාමාජිකයන් බවට පත්ව සිටින ඇතැමුන්ට තවදුරටත් රැඳී සිටීමේ අවස්ථාව උදාවී තිබේ. 

 යොහාන්

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00