2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

නේපාල සාග් ක්‍රීඩා උළෙල: පිහිනුම් තටාක-ක්‍රීඩාංගණ තවම කොටඋඩ

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 39

නේපාලයේදී ලබන දෙසැම්බර් 01 වැනිදා ආරම්භ වන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල එදා මෙදාතුර පැවැති සාග් ක්‍රීඩා උළෙලවලින් අඩුම පහසුකම් ලැබෙන ක්‍රීඩා උළෙල බවට පත්වන ලකුණු පසුගිය සතිය වනවිට දක්නට තිබූ බව වාර්තා වේ. එම ක්‍රීඩා උළෙල පැවැත්වෙන කත්මණ්ඩු සහ ෆොකාරා නගර දෙකේ ක්‍රීඩාංගණවල, පිහිනුම් තටාකය සහ සෙසු මධ්‍යස්ථානවල ඉදිකිරීම් පසුගිය සතිය අග වනවිටත් අඩකින් හෝ නිමකර නොතිබුණු බව වාර්තා විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩා කණ්ඩායම් නේපාලයේ පරිසර තත්ත්වයට හුරුවීම සඳහා සතියකට පමණ පෙර පිටත්ව යෑමට නියමිතව සිටියද ක්‍රීඩාංගණ සහ සෙසු මධ්‍යස්ථාන ඉදිවෙමින් පැවතීම හේතුවෙන් පිටත්ව යෑම පසුපසට තල්ලු කළහ. පිහිනුම් තරගාවලිය පැවැත්වීමට නියමිත එකම පිහිනුම් තටාකයද මේ වනවිට ඉදිවෙමින් පවතින බවත් එය හැර පුහුණුවීම් සඳහා හෝ කත්මණ්ඩු නුවර වෙනත් පිහිනුම් තටාකයක් නොමැති බවත් වාර්තා වේ. කත්මණ්ඩු නුවර හෝටල් කීපයක මීටර් 20ක දුරින් යුත් පිහිනුම් තටාක කීපයක් ඇති බවත් ඒවා පුහුණුවීම් සඳහා යොදාගත නොහැකි බවත් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ නිලධාරියෙක් ‘දේශය’ට පැවසීය. ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩායම කත්මණ්ඩු නුවර සීත කාලගුණ තත්ත්වයට හුරුවීම සඳහා ලබන 23 වැනිදා පිටත්ව යෑමට නියමිතව තිබුණද එය සතියකින් පමණ කල් දැමීමට සිදුවිය. 

බර ඉසිලීමේ තරගාවලිය සඳහා ශාලාවක් පමණක් සූදානම් කරමින් තිබුණ බවද නේපාලයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. දුන්නෙන් විදීමේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයේ තත්ත්වයද සෙසු ඒවාට දෙවැනි නොවන බව පැවසේ. 

පිරිමි සහ කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණය මෙරට පාසල් ක්‍රිකට් තරගයක් පවත්වන ක්‍රීඩාංගණයක් තරමට හෝ පහසුකම් නොතිබුණු බව සඳහන් වේ. පසුගිය සතිය වනවිටත් එහි අඩියකට වඩා වැඩි උසට තණකොළ තිබූ බව ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම විස්සයි20 තරගාවලියට ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය යන ටෙස්ට් රටවල්වල වයස 23 න් පහළ කණ්ඩායම් සහභාගි වීමට නියමිතය අතර එම ඇතැම් කණ්ඩායම්වල ජාතික කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවෝද ඇතුළත්ව සිටිති. 
කත්මණ්ඩු නුවර මේ වනවිට දැඩි දූවිලි තත්ත්වයක් පවතින බවත් ඒ හේතුවෙන් ජනතාවද දැඩි අපහසුතාවකට පත්ව සිටින බවත් වාර්තා වේ. ක්‍රීඩා උළෙලේ නිල සමාරම්භ උත්සවය දෙසැම්බර් 1 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණද වොලිබෝල් තරග මේ මස 27 වැනිදා ආරම්භ වීමට නියමිතය. 

ඇතැම් ක්‍රීඩා උළෙලවලදී දින කිහිපයකට පෙර ක්‍රීඩා කීපයක් ආරම්භ කිරීම සාමාන්‍ය තත්ත්වයක් වුවද මෙහිදී දින හතරකට පෙර වොලිබෝල් තරග ආරම්භ කිරීමට හේතුව බවට පත්ව ඇත්තේ පිරිමි සහ කාන්තා තරගාවලි දෙකම එකම ක්‍රීඩාගංණයක් තුළ පැවැත්වීමට සිදුව තිබීමය.

 භාසුර