2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

හතුරුසිංහට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් සටන

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 85

“කුම්බලා මාළු කෑවා නම් දුක විඳවපන් බළලෝ” යැයි ශ්‍රී ලංකා ජනවහරේ ඇති කියමන චන්දික හතුරුසිංහ සම්බන්ධයෙන් මේ වනවිට උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට පැවසීම වඩාත් ගැළපෙයි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සමඟ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය එළඹ තිබෙන ඔලමොට්ටල ගිවිසුම හේතුවෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය එවන් පඹගාලක පැටලී තිබේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පසුගියදා හතුරුසිංහට දෙවැනි චෝදනා පත‍්‍රයද යොමුකර ඇති බව දැනගන්නට ලැබුණි. හතුරුසිංහද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලුණු ඇඹුල් පදමට මුසු කළ ලිපියක් යොමුකර තිබුණු අතර එයට පිළිතුරු ලෙස මෙම දෙවැනි චෝදනා පත‍්‍රය යවා ඇති බව වාර්තා වේ. බංග්ලාදේශයේ සිටි හතුරුසිංහ කෙසේ හෝ ලබාගැනීමේ අදහසින් එවකට සිටි ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් අලි කොටි ඉල්ලුවත් දෙන තත්ත්වයකට පත්ව සිටි බව එම ගිවිසුම දෙස බැලීමේදී පැහැදිලිය. 

මාසයකට රුපියල් ලක්‍ෂ 80 කට අධික වැටුපක් හිමිවන ආකාරයට සකස් කර තිබෙන මෙම ගිවිසුම ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඒකපාර්ශ්වීයව අහෝසි කළහොත් එහි වන්දිය හතුරුසිංහට යන ආකාරය පහත පරිදි වේ.

“ගිවිසුමේ 10(D) ඡේදය අනුව ගිවිසුමේ 10(B) හෝ 10(C) ඡේද ප‍්‍රකාරව හෝ කවර හේතුවක් මත හෝ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ඒකපාර්ශ්විකව ගිවිසුම අවසාන කරන්නේ නම් පුහුණුකරු සඳහා වසරක වැටුප් හෝ ගිවිසුමේ ඉතිරි කාලය සඳහා වැටුප් හෝ යන අගයන් දෙකෙන් වඩා අඩු අගය ගෙවිය යුතුය.”

ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් හොර රහසේ ගැසූ මෙම ගිවිසුම හේතුවෙන් හතුරුසිංහ මහතාගේ සේවය අවසන් කළහොත් ඔහුට රුපියල් කෝටි 10කට අධික දැවැන්ත මුදලක් ගෙවීමේ අවදානමකට ලක්වෙයි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් හතුරුසිංහගෙන් අගෝස්තු මස සිට සේවය ලබානොගත්තද ලක්‍ෂ 80 බැගින් මේ වනවිට මාස හතරක් ගෙවා තිබේ. සේවයක් නොදෙන පුද්ගලයකුට මෙවැනි දැවැන්ත මුදලක් ගොවීම කොතරම් සාධාරණයද යන්න සිතාබැලිය යුතුය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් නව ප‍්‍රධාන පුහුණුකරු ලෙස විදේශිකයකු පත්කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මේ වනවිට සැලසුම් සකස්කරමින් සිටියි. එසේ වුවහොත් එම පුහුණුකරුටද අවම වශයෙන් රුපියල් ලක්‍ෂ 40 කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන් මුදල් කාබාසිනියා කිරීමට කිසිදු බියක් සැකයක් නොමැති බව අතීතයෙන් ඕනෑතරම් උදාහරණ දැක්විය හැකිය. මෙයද එවැනි මුදල් නාස්තියකි. හතුරුසිංහ අධිකරණයට ගියහොත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට නඩු කටයුතු වෙනුවෙන් තවත් ලක්‍ෂ ගණනක මුදලක් දැරීමට සිදුවනවාට සැක නැත. හතුරුසිංහ අධිකරණයට යෑමට මේ වනවිටත් සූදානමින් සිටින බව දැනගන්නට තිබේ. මෙම තත්ත්වය පිළිබඳව අවධානය යොමුකර ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් සහ ක‍්‍රීඩා අමාත්‍යවරයා එක්ව සාකච්ඡා කර ලබන වසර අවසන් වනතුරු හතුරුසිංහගේ සේවය ලබාගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසු නොවේද?

I වරකාගොඩ ගමගේ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00