2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

නේපාල සාග් ක්‍රීඩා උළෙල: ලංකාවේ වියදම තවත් ඉහළට

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 62

නේපාලයේදී ලබන දෙසැම්බර් මස පැවැත්වෙන සාග් ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් දිය කරන මහජන මුදලේ ප‍්‍රමාණය කෝටි 40 කට ආසන්න වෙතැයි මේ වනවිට ඉඟි පළවී තිබේ. සාග් ක‍්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජික සංඛ්‍යාව 900 ඉක්මවන තත්ත්වයකට පසුගිය සතිය වනවිට උද්ගතවී තිබුණි. 

ක‍්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජික සංඛ්‍යාව 800 ක් බව මීට පෙර පැවසුවද මලල ක‍්‍රීඩා සඳහා සහභාගි වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ සංඛ්‍යාව දෙගුණ වන බව ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. එහිදී මුතුගල මහතා පැවසුවේ මලල ක‍්‍රීඩා ඉසව්වකට එක ක‍්‍රීඩකයකු හෝ ක‍්‍රීඩිකාවක් පමණක් සහභාගි කරවීමට මුලදී අවස්ථාව ලැබුණද එක ඉසව්වකට දෙදෙනකු සහභාගි කරවීමේ අවස්ථාව එම මාධ්‍ය හමුව පැවැති දින වනවිට අවස්ථාව උදාවීමෙන් මලල ක‍්‍රීඩා කණ්ඩායම දෙගුණ වන බවයි. 

ක‍්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සංඛ්‍යාව 605 සිට 650 දක්වා වැඩිවනු ඇතැයි ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසුවද එය 700 ඉක්මවීමට ඉඩ ඇති බව වාර්තා වේ. එහි මලල ක‍්‍රීඩා කණ්ඩායමට මීට පෙර ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 36 බැගින් 72ක් ඇතුළත් වූහ. එය දෙගුණ වුවහොත් මලල ක‍්‍රීඩා කණ්ඩායමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකා සංඛ්‍යාව 140 ක් දක්වා ඉහළ යෑම වැළැක්විය නොහැක. මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 72 ක් සඳහා පුහුණුකරුවන් 48 ක් මීට පෙර සහභාගි වීමට නියමිතව සිටි අතර ක‍්‍රීඩක ක‍්‍රීඩිකා සංඛ්‍යාව වැඩිවීමත් සමඟ පුහුණුකරැවන්ගේ සංඛ්‍යාව වැඩි වේ.

මෙම ක‍්‍රීඩා උළෙල සඳහා මීට පෙර රුපියල් කෝටි 34 කට අධික මුදලක් වැය කිරීමට සූදානම් වූ අතර ඒ අනුව එක් සාමාජිකයකු වෙනුවෙන් ලක්‍ෂ 4 කට අධික මුදලක් වැය කිරීමට නියමිත විය. එම සංඛ්‍යාව තවත් 100 කින් වැඩිවුවහොත් අමතර ලක්‍ෂ 400ක් හෙවත් කෝටි 4 කට අධික මුදලක් අවශ්‍ය වේ. මෙහිදී එක පුද්ගලයකුට දින 18ක කාලයක් නවාතැන් පහසුකම් ලබාදීම සඳහා මුලදී මුදල් වෙන්කළද ඇතැම් ඉසව්වල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තරගාවලිය ආරම්භ වීමට සතියකට පමණ පෙර නේපාලයට පිටත්කර හැරීමට සැලසුම් කර තිබේ. මලල ක‍්‍රීඩා, බොක්සිං වැනි ක‍්‍රීඩා කීපයක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට නේපාලයේ පරිසර තත්ත්වයට හුරුවීම සඳහා මෙලෙස දින කිහිපයකට පෙර පිටත්කර හැරීමට තීරණය කර තිබේ. මෙවර ක‍්‍රීඩා උළෙ පැවැත්වෙන නේපාලයේ කත්මන්දු සහ පොක්හාරා නගර දෙක අතර එක ගමන් වාරයක් සඳහා පැය පහකට අධික කාලයක් ගතවන බවද පොක්හාරා ප‍්‍රදේශයේ ශීත කාලගුණ තත්ත්වයක් පවතින බවද වාර්තා වේ.

ශ්‍රී ලංකාව මෙම ක‍්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 35 ක්, රිදී පදක්කම් 75 ක් සහ ලෝකඩ පදක්කම් 125 ක් දිනාගැනීමට බලාපොරොත්තු වෙයි. මෙහිදී ස්ථාන තීරණ කිරීමට රන් පදක්කම් පළමු නිර්ණායක වේ. ශ්‍රී ලංකාව මෙහිදී රන් පදක්කම් 35ක් දිනාගත හොත් එය පමණක් නිර්ණායක බවට පත්කළහොත් රන් පදක්කමක් රුපියල් කෝටියකට අධික මුදලක් වේ.

 භාසුර