2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

මිලියන 100ට කඹ ඇදිල්ල

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 40

ජාතික ඔලිම්පික් කමිටුවට භාණ්ඩාගාරයෙන් වෙන්කර තිබූ රුපියල් කෝටි 10න් කෝටියක් යොදවා ඔලිම්පික් කමිටු මූලස්ථානය සංවර්ධනය කිරීමට සූදානම් වූ බව ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී හෙළි කළේය. 

“මම කැබිනට් පත‍්‍රිකාවක් දාලා ඒ මුදල සාග් ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් ලබාගත්තා. ජාතික ඔලිම්පික් කමිටුව ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වන මාව මගහැරලා එම කෝටි 10 වියදම් කරන ආකාරය පිළිබඳව යෝජනා ඉදිරිපත් කරලා තිබුණා. ඉන් කෝටියක් ඔලිම්පික් කමිටුව හදාගන්න යොදවන්න යෝජනාවකුත් තිබුණා.”

“ජාතික ඔලිම්පික් කමිටුව කියන්නෙ රාජ්‍ය ආයතනයක් නෙවෙයි. ඒ නිසා භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල්වල භාරකරු ක‍්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයායි. මම ඔවුන්ට කිව්වා එම මුදලෙන් කරන්න බලාපොරොත්තු වන කටයුතු පිළිබඳ සැලැස්මක් දෙන්න කියලා. නමුත් මට ලැබුණේ නෑ.”

“ජාතික ඔලිම්පික් කමිටුවෙන් රටේ ක‍්‍රීඩාවට මුකුත් වෙන්නේ නෑ. එකම පිරිසක් පාලනයේ ඉඳන් එක එක දේවල් කරනවා. අපි ජාතික ඔලිම්පික් කමිටුව පිළිබඳව සාකච්ඡා කරන්න ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් හමුවුණා. ඒ අවස්ථාවේදී අපිට ඉතා පහත් ලෙසයි සැලකුවේ” යැයි චූලානන්ද පෙරේරා මහතා ජාතික ඔලිම්පික් කමිටුවේ වර්තමාන පාලකයන්ට දැඩිව දොස් පැවරුවේය. 

සාග් ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් ක‍්‍රීඩා අමාත්‍යංශය වැය කිරීමට සූදානම් වන රුපියල් කෝටි 35කට අධික දැවැන්ත මුදලින් රුපියල් කෝටි 10ක මුදලක් ජාතික ඔලිම්පික් කමිටුවට නොගොස්ම මේ වනවිට ක‍්‍රීඩා අමාත්‍යංශය ලබාගෙන තිබේ. භාණ්ඩාගාරයෙන් ජාතික ඔලිම්පික් කමිටුවට වෙන්කළ රුපියල් මිලියන 100ක මුදල ලබාදීමට ජාතික ඔලිම්පික් කමිටුව අකමැත්තෙන් පසුවූ බව දැනගන්නට තිබේ

ක‍්‍රීඩා අමාත්‍යංශය සහ ඔලිම්පික් කමිටුව අතර පවතින විරසකය හේතුවෙන් ක‍්‍රීඩා අමාත්‍යංශය සිය බලය පාවිච්චි කරමින් කෝටි 10ක මුදල සම්පූර්ණයෙන්ම සාග් ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් ලබාගෙන තිබේ. ජාතික ඔලිම්පික් කමිටුවේ වසර ගණනාවක වියදම් පිළිබඳව කාලයක සිට දැඩි විවේචනය පවතින අතර ඒ පිළිබඳව විගණනයක් කිරීමට එහි වර්තමාන පාලකයන් අකැමැත්තෙන් පසුවන බවද එහිදී ක‍්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය.

  යොහාන්
  

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00