2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

තේරීම් කමිටුව අෂාන් ප්‍රියන්ජන්ට පළඳන කටු ඔටුන්න

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 316

ශ්‍රී ලංකා ‘ඒ’ ක‍්‍රිකට් පිලේ නායක අෂාන් ප‍්‍රියංජන්, ජාතික කණ්ඩායමේ පාකිස්තානු සංචාරයට තෝරා නොගැනීම පිළිබඳව විමසීමේදී ඇති වූ සංවාදය පහත දැක්වේ.

ප‍්‍රශ්නය: අෂාන් ඔබ පාකිස්තානු සංචාරයට සහභාගි වීම ප‍්‍රතික්ෂේප කළ ක‍්‍රීඩකයෙක්ද?

පිළිතුර: නැහැ.

ප‍්‍රශ්නය: ඔබ වසර දෙක තුනක සිට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකයා. ඔබ ලකුණු අතර ඉන්නවා. පාකිස්තානු සංචාරයට ඔබ තෝරා නොගත්තේ ඇයිදැයි තේරීම් කමිටුවෙන් විමසුවාද?

පිළිතුර: මම හිතන්නෙ ඒක තේරීම් කමිටුවෙන් අහන්න ඕන දෙයක්. ඇත්තටම මම අහන්න ගියේ නෑ. මම හිතන්නේ තේරීම් කමිටුව ඒ අවස්ථාවේදී තීරණය ගන්න ඇති. මම ඒකට ගරු කරලා.....

ප‍්‍රශ්නය: අෂාන් ඔබ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ගිවිසුම්ගත ක‍්‍රීඩකයෙක් නේද?

පිළිතුර:  ඔව්

ප‍්‍රශ්නය: ඔබට අවස්ථාව නොලැබීම ගැන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දැනුවත් කිරීමේ අදහසක් නැද්ද?

පිළිතුර: ඇත්තටම පොඩි බලාපොරොත්තුවක් තිබුණා අනිවාර්යෙන්ම පාකිස්තානු සංචාරය ලැබෙයි කියලා. හැබැයි ඉතින් තේරීම් කමිටුවේ ඒ අවස්ථාවේ තීරණය අනුව මට ලැබුණෙ නෑ. අහන්න කියලා හිතන් ඉන්නවා. බලමු ඉස්සරහට වෙන්නෙ මොකක්ද කියලා.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමෙන් ඊළඟ පියවර ජාතික කණ්ඩායමයි. එසේ වුවද ශ්‍රී ලංකාවේ එවැනි දෙයක් සිදුනොවේ. අෂාන් ප‍්‍රියංජන් වසර හතරක පමණ කාලය සිට ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ සහ ක‍්‍රිකට් සභාපතිවරයාගේ පිලේ නායකයා ලෙස කටයුතු කළද එම කණ්ඩායම්වල සාමාජිකයන් ජාතික කණ්ඩායමට ගියද ඔහු ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ නිත්‍ය නායකයා බවට පත්කර තිබේ. 

ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් පාකිස්තානු තරග සංචාරයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට අෂාන් ප‍්‍රියංජන් ඇතුළත් කිරීමට ඕනෑතරම් අවස්ථාව තිබුණි. එසේ වුවද තේරීම් කමිටුව එය මඟ හැරියේය. අෂාන් ප‍්‍රියංජන් යනු ශ්‍රී ලංකා වයස 19න් පහළ පිලේ නායකත්වය දැරූ ප‍්‍රබල පිතිකරුවෙකි. අෂාන් සහ වර්තමාන ඉන්දීය පිලේ නායක සුපිරි පිතිකරු විරාට් කෝලි එකම යොවුන් ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම් දෙක මෙහෙයවූහ. අද කෝලි ඉන්නේ කොතනද? අෂාන් ඉන්නේ කොතනද?

අෂාන් දස්කම් අතර සිටින කාලයේ ජාතික කණ්ඩායමේ මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන් ආදි ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැසක් සිටීම නිසා ඔහුට අහම්බයෙන් අවස්ථාව ලැබුණි. ඉන්දීය පිලේ කොතරම් ප‍්‍රබලයන් සිටියද ඉන්දීය ක‍්‍රිකට් බලධාරීන් විරාට් කෝලිට අවස්ථාව සලසා දුන් ආකාරයට ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන්ද කටයුතු කළේ නම් අද අෂාන් ප‍්‍රියංජන් ලෝක පූජිත ක‍්‍රීඩකයකු වීමට ඉඩ තිබුණි. දැන් අෂාන් සම්බන්ධයෙන් පෙරහර ගොස් අවසන්ය. 

ඉදිරියේදී හෝ එවැනි ආකාරයට කටයුතු කරන්නේ නම් සදීර, චරිත් අසලංක, සම්මු අෂාන් වැනි ක‍්‍රීඩකයන් කල්ඉකුත් වීමෙන් ගලවාගත හැකිය. අෂාන් දෙවැනි පෙළ කණ්ඩායමකට හෝ සුදුසු නොවේ නම් ඔහු අඛණ්ඩව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ඇතුළත් කිරීමෙන් තේරීම් කමිටුව කුමක් බලාපොරොත්තු වන්නේද?

ශ්‍රී ලංකා පිල පසුගිය සිකුරාදා පාකිස්තානයට එරෙහිව පළමු එක්දින තරගයට කරච්චි නුවරදී සහභාගි වීමට නියමිතව තිබුණි. 

I යොහාන් භාසුර