2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වියදම තවත් කෝටි 4කින් ඉහළට

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:29 38

නේපාලයේදී ලබන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත 13 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් ශ‍්‍රී ලංකාව වැයකරන මුදල තවත් රුපියල් කෝටි හතරකට ආසන්න මුදලකින් ඉහළ ගොස් තිබේ. ක‍්‍රීඩා අමාත්‍යංශය රුපියල් ලක්‍ෂ 3441 කට අධික මුදලක් වැය කිරීමට මේ වනවිට ඇස්තුමේන්තු කර ඇති අතර මෙවැනි දැවැන්ත මුදලකට සරිලන ප‍්‍රතිලාභයක් ලැබේද යන්න මෙහිදී නැගෙන ප‍්‍රධාන ගැටලුව වේ.

මෙම තත්ත්වය අනුව දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 3500ක් හෙවත් රුපියල් කෝටි 35 කට අධික මුදලක් වැය කිරීමට සිදුවනු ඇති බවට ඉඟි පළවේ. මෙම ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් මීට මාස දෙකකට පමණ පෙර රුපියල් ලක්‍ෂ 3127 කට අසන්න මුදලක් ඇස්තමේන්තු ගතකර තිබූ අතර එය මේ වනවිට තවත් කෝටි හතරකට ආසන්න මුදලකින් වැඩිවීම වඩාත් කැපී පෙනෙන තත්ත්වයක්.

“දකුණු ආසියානු කලාපීය ක‍්‍රීඩා තරගාවලිය (SAG) 2019 සඳහා සහභාගී වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හා ක‍්‍රීඩා තාක්‍ෂණ නිලධාරීන් වෙනුවෙන් වැයවෙතැයි අපේක්‍ෂා කරන මුළු මුදල රුපියල්.මි. 344.150 කි. මෙයින් රු. මිලියන 200ක මුදලක් දෙපාර්තමේන්තුව වෙත දැනට ලැබී ඇති ප‍්‍රතිපාදනවලින් කළමනාකරණය කරගත හැකි අතර රු.මි. 9.150ක් අනුග‍්‍රාහකයන් මගින් ලබාගැනීමට බලාපොරොත්තු වේ. මෙම තරගාවලිය සඳහා සහභාගිවීමට අතිරේක වශයෙන් රු. මිලියන 135 ක මුදලක් අවශ්‍ය වේ.”

“ඉහත මුදල් ප‍්‍රතිපාදනය මෙම දෙපාර්තමේන්තුවට නොලැබේ නම් මෙවර දකුණු ආසියානු කලාපීය ක‍්‍රීඩා තරගාවලියට (SAG) සහභාගී කළ හැකි වන්නේ, පවතින මුදල් ප‍්‍රතිපාදන මත කළමනාකරණය කිරීමට හැකි ක‍්‍රීඩකයන් හා කණ්ඩායම් කිහිපයක් පමණි.” “තවද මෙම අමාත්‍යංශය යටතේ ජාතික ඔලිම්පික් කමිටුවට වෙන්කර ඇති රු. මිලියන 100ක මුදල වැය කිරීම සඳහා එම කමිටුව මෙතෙක් කිසිදු ක‍්‍රමවේදයක් සකස්කොට නොමැති අතර එම මුදල් මෙම වසර තුළ වියදම් නොවන බව නිරීක්‍ෂණය කරමි.” ඉහත උපුටා ගැනීම අනුව ක‍්‍රීඩා අමාත්‍යංශය සාග් ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් මුදල් අනුමැතිය ඉල්ලා තිබුණි.

ශ්‍රී ලංකා ක‍්‍රීඩා ඉතිහාසයේ දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලකට සහභාගි වන විශාලතම කණ්ඩායම මෙවර සහභාගි කරවීමට නියමිත අතර එම දැවැන්ත කණ්ඩායමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පමණක් 605 කි. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අමතරව නිලධාරීහූ 200 කට අධික පිරිසක්ද සහභාගි කරවීමට සැළසුම් කර ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජික සංඛ්‍යාව 800 ඉක්මවීම වැළැක්විය නොහැක. 

පුහුණුකරුවන් 95ක්, වෛදවරු 10ක්, භෞත චිකිත්සකයන් 15ක්, අභ්‍යාසකයන් 15ක්, මාධ්‍යවේදීන් 15ක්, සාග් ලේකම් කාර්යාලයේ 5ක්, නිරීක්‍ෂකයන් 15ක්, මනෝ උපදේශකයන් 5ක් සහ කළමනාකරැවන් 27ක් ලෙස නිල වශයෙන් නිලධාරීන් 202ක් නේපාලයට පිටත්ව යෑමට නියමිතය. මෙම ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් ක‍්‍රීඩා 21ක සංචිත 27ක් මේ වනවිට පුහුණුවීම්වල නිරතව සිටියි. ජනතාවගේ බදු මුදල් මෙවැනි ‘මෙගා’ වන්දනා චාරිකා සඳහා වැය කිරීම සාධාරණයද යන්න ක‍්‍රීඩා බලධාරීහු එකවරක් නොව කීපවරක්ම සිතා බැලිය යුතුය. 

I වරකාගොඩ ගමගේ

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00