2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

පාකිස්තාන් ක්‍රිකට් සංචාරය යළි අවදානමක

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 101

ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී ත‍්‍රස්තවාදී තර්ජන එල්ල විය හැකි බවට අගමැති කාර්යාලයෙන් කළේ යැයි කියන දැනුම්දීමත් සමඟ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පසුගිය සතිය ආරම්භයේ දැඩි ගැටලුවකට මුහුණ දී සිටියේය. දේශපාලන පොරොන්දුවක් මත කෙරෙන්නේ යැයි කියන මෙම සංචාරයට සහභාගි වියයුතුම දැයි මේ වනවිට බොහෝ දෙනා ප‍්‍රශ්න කරති.  

පාකිස්තානයේදී මේ මස අවසානයේ ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වීම ශ්‍රී ලංකා ප‍්‍රබල ක‍්‍රීඩකයෝ රැසක් ප‍්‍රතික්ෂේප කළහ. මෙම තත්ත්වය හේතුවෙන් පාකිස්තානු සංචාරයට ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් දෙවැනි පෙළ කණ්ඩායමකට සමාන කණ්ඩායමක් පිටත්කර යැවීමට ක‍්‍රිකට් ආයතනයට සිදුවී තිබේ.
එක්දින පිලේ නායක දිමුත් කරුණාරත්න, විස්සයි20 පිලේ නායක ලසිත් මාලිංග, හිටපු නායකයකු මෙන්ම ප‍්‍රබල පිතිකරු ඇන්ජලෝ මැතිව්ස්, විස්සයි20 පිලේ උපනායක නිරෝෂන් දික්වැල්ල, ප‍්‍රබල ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, අකිල ධනංජය සහ ධනංජය ද සිල්වා ඇතුළු ක‍්‍රීඩකයෝ 12 ක් පමණ පාකිස්තානු සංචාරය ප‍්‍රතික්ෂේප කළහ.

ශ්‍රී ලංකා පිල 2009 වසරේ ලාහෝර් නුවරදී ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයට ලක්වීමෙන් පසුව 2017 වසරේ ඔක්තෝබර් මස විස්සයි20 තරගයකට සහභාගි වූ අතර එම අවස්ථාවේදී ද ක‍්‍රිකට් ආයතනය මෙම ගැටලුවට මුහුණ දුන්නේය. එම සංචාරයේදී නායකයා ලෙස කටයුතු කළ තිසර පෙරේරා ද මෙහිදී පාකිස්තානයට යෑම ප‍්‍රතික්ෂේප කිරීම කැපී පෙනේ. එක්දින පිලේ ස්ථානය අහිමිව සිටින හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල් ද සංචාරය ප‍්‍රතික්ෂේප කළේය.

මෙම සංචාරයට සහභාගි වීම ප‍්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකා පිලේ ප‍්‍රබල ක‍්‍රීඩකයකු පැවසුවේ අවදානමක් තිබියදී ක‍්‍රීඩා කිරීමේ හැකියාව නැති බවයි. 

“මම තේරීම් කමිටු සභාපතිවරයාට කිව්වා මම යන්නේ නෑ කියලා. ගොඩක් අය පළමු දිනයේම කිව්වා යන්න නෑ කියලා” යැයි එම ක‍්‍රීඩකයා වැඩිදුරටත් පැවසීය. 

තේරීම් කමිටු සභපතිවරයා මෙන්ම කණ්ඩායමේ කළමනාකරුද වන අසන්ත ද මෙල් මහතා ද පාකිස්තානු සංචාරයට සහභාගි නොවන බව දැනගන්නට තිබේ. මෙම තරගාවලියට සහභාගි නොවීම ඉදිරි සංචාර සඳහා සුදුසුකම් ලැබීමට බාධාවක් නොවන බවද තේරීම් කමිටු සභාපතිවරයා පවසා ඇති බවද තවත් ප‍්‍රධාන ක‍්‍රීඩකයෙක් පැවසීය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරියකු පැවසුවේ මෙම සංචාරයට සහභාගි වන තරුණ ක‍්‍රීඩකයන් දස්කම් දැක්වුවහොත් ඔවුන්ට අඛණ්ඩව අවස්ථාව ලබාදීමට අවධානය යොමු කරන බවයි.

ශ්‍රී ලංකාවෙන් දෙවැනි පෙළ කණ්ඩායමක් සහභාගි කරවීම පිළිබඳව පාකිස්තානු ක‍්‍රිකට් ආයතනය එතරම් කැමැත්තක් නොමැති බවද දැනගන්නට තිබේ.

I වරකාගොඩ ගමගේ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00