2017 මාර්තු 11 වන සෙනසුරාදා

A පිල B කරන ක්‍රිකට් ලොක්කෝ

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 309

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම් තේරීමේදී තවමත් ක‍්‍රිකට් ලොක්කන්ගේ බලපෑම් එල්ල වන බව පසුගිය සතියේ නම් කළ ශ්‍රී ලංකා ‘ඒ’ එක්දින කණ්ඩායම දෙස බැලීමේදී පැහැදිලි වේ.  වර්තමාන ක‍්‍රිකට් ලොක්කන්ට බලයට ඒමට ඡන්දය දුන් ක‍්‍රීඩා සමාජවලට කෘතගුණ සැලකීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම යොදා ගන්නේ නම් එය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතයට එතරම් සුබදායක නොවේ. 

‍එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව පැවැති පළමු එක්දින තරග තුනට සහභාගි වූ සංචිතයට පළමු පෙළ දෙවැනි කොටසේ ක‍්‍රීඩා කරමින් දස්කම් නොදැක්වූ පානදුර ක‍්‍රීඩා සමාජයේ සංජය චතුරංග ඇතුළත් කිරීමෙන් ජාතික මට්ටමේ සංචිත තේරීමේදී සිදුවන අක‍්‍රමිකතා මනාව පැහැදිලි වේ.

පානදුර ක‍්‍රීඩා සමාජයේ ප‍්‍රධාන තනතුරක් දරන පුද්ගලයකු ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේද උසස් තනතුරක් දරන පසුබිම තුළ දස්කම් නොදැක්වූ ක‍්‍රීඩකයකු සංචිතයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සාධාරණ සැකයක් මතුවේ.
අදාළ ක‍්‍රීඩකයා ඇතුළු පානදුර ක‍්‍රීඩා සමාජයට ක‍්‍රීඩා කරන ක‍්‍රීඩකයන් කීප දෙනකුට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වාර්ෂික ගිවිසුම ලබා දෙමින් සුපිරි දීමනාවක් ගෙවීම පිළිබඳවද මීට පෙර චෝදනා එල්ල විය.   
පානදුර ක‍්‍රීඩා සමාජය සම්බන්ධයෙන් තරගයක් පාවාදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ද මේ වන විට පරීක්‍ෂණයක් ක‍්‍රියාත්මක වේ. 

මෙම ක‍්‍රීඩකයා සංචිතයට රිංගවීම හොඳ සැලසුමකට අනුව ක‍්‍රියාත්මක වී ඇති බව පැහැදිලිය. ‘ඒ’ එක්දින සංචිතයට ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටි මාලින්ද පුෂ්පකුමාර සහ සංජය බණ්ඩාර ඇතුළත්ව සිටියහ. 
එම ක‍්‍රීඩකයන් සමඟ සංචිතය මාධ්‍ය වෙත නිකුත් කර පසුව ඔවුන් ටෙස්ට් සංචිතයට එකතු වීමත් සමඟ හොර රහසේ සංජය චතුරංග සංචිතයට එක්කර තිබේ. 
බදුරලිය ක‍්‍රිකට් සමාජයේ නායකයා ලෙස කටයුතු කළ පිට දඟ පන්දු යවන අලංකාර අසංක කඩුලූ 51ක් දවා ගනිමින් මෙවර පළමු පෙළ තරගාවලියේ වැඩිම කඩුලූ දවාගත් පිට දඟ පන්දු යවන්නා වුවද ඔහුට ‘ඒ’ සංචිතයේ ස්ථානයක් හිමි නොවීය. 
කෙසේ වෙතත් එම තරගාවලියේදී කඩුලූ 26 ක් දවාගත් හිටපු ඇමති පුත් රමිත් රඹුක්වැල්ලට ‘ඒ’ සංචිතයේ ආසනයක් හිමිව තිබුණි.  
ජාතික කණ්ඩායම ද නියෝජනය කළ මෙවර පළමු පෙළ තරගාවලියේ දස්කම් දැක්වූ පිතිකරුවකුට ක‍්‍රිකට් ලොක්කෙකුගේ බලපෑමෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පවා අවස්ථාව අහිමිකර තිබූ බව දැනගන්නට තිබේ.  
ව්‍යාපාරික හේතුවක් මත මෙම ක‍්‍රීඩකයාට අවස්ථාව නොදෙන ලෙස ආදාළ ලොක්කා උපදෙස් දුන් බව ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්ව තිබේ. එම ක‍්‍රීඩකයාගේ පියා සමඟ දැන්වීම් පළ කිරීම සම්බන්ධයෙන් ඇතිවූයේ යැයි කියන සිද්ධියක් මෙයට හේතු වී තිබේ. 

යහපාලනයට මුල් වූ ඉහළතම දේපාලනඥයකුගේ දියණියක් පවත්වා ගෙන යන්නේ යැයි කියන ආයතනයකට දැන්වීම් ලබා නොදීම මෙහි නිදාන කථාව බව තතු දන්නෝ පවසති. 
එයාව දාන්න එපා. ප‍්‍රශ්නයක් තියෙනවා යැයි ක‍්‍රිකට් ලොක්කා පවසා ඇති අතර අදාළ ක‍්‍රිකට් ලොක්කා ඇය හරහා දේශපාලනඥයාට හිතවත් වීමට ක‍්‍රීඩකයාට අවස්ථාව නොදී පියාට බලපෑම් කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.
සනත් ජයසූරිය ප‍්‍රමුඛ තේරීම් කමිටුව ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගෙන් බලපෑම් එල්ල වන බව පවසමින් මීට සති කීපයකට පෙර ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී පසුව හකුලා ගත්තේය. 
මෙවැනි දේවල් තේරීම් කමිටුවේ කැමැත්තෙන් වෙනවාද? එසේ නැත්නම් නිලධාරීන් සතුටු කිරීමට කරනවාද? යන්න පිළිබඳව දැඩි කුතුහලයක් ක‍්‍රිකට් ක්ෂේත‍්‍රය තුළ ඇති වී තිබේ.
සංජය චතුරංග මෙවර පළමු පෙළ තරගාවලියේ දෙවැනි කොටසේ තරග 7කට සහභාගි වී කඩුලු 9ක් පමණක් දවාගෙන තිබේ.  
දස්කම් ඇති ක‍්‍රීඩකයකු සංචිතයට ඇතුළත් කිරීමට තේරීම් කමිටුවට සැබෑ වුවමනාවක් තිබුණේ නම් කඩුලු 50 කට වැඩියෙන් දවාගත් ක‍්‍රීඩකයන් රැසක් මෙවර පළමු පෙළ තරගාවලියෙන් සොයා ගත හැකිය.  

 සටහන: භාසුර

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00