2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

අකිල ධනංජය යළි ජයකෙහෙළි නංවයි

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 106

නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පසුගිය බදාදා ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමේ ස්ථානය අහිමිකිරීම කැපී පෙනුණි. නායක දිමුත් කරුණාරත්න තරගයට පෙර පැවසුවේ චන්දිමාල්ට කඩුලු රකින්නා ලෙස කණ්ඩායමට පැමිණීමේ අවස්ථාව ඇති බවයි. එසේ වුවද කඩුලු රැකීමේ අවස්ථාව නිරෝෂන් දික්වැල්ලට ලබාදී තිබුණි.

නිරෝෂන් දික්වැල්ල සහ දිනේෂ් චන්දිමාල් යන ක‍්‍රීඩකයන් දෙපළගේ වෙනස සහ හැකියාව තේරීම්ගත නොහැකි තේරීම් කමිටුවකින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සුගතියක් බලාපොරොත්තු විය හැකිද? දික්වැල්ල වඩාත් ගැලපෙන්නේ ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාව ද එසේත් නැත්නම් සීමිත ඕවර ක‍්‍රිකට් ක‍්‍රීඩාවටද, යන්න ඔහු මීට පෙර ක‍්‍රීඩා කළ ආකාරයෙන් පැහැදිලිය. 

හතුරුසිංහගේ හිතවතුන් යැයි පවසමින් ඇතැම් ක‍්‍රීඩකයන් විනාශ කිරීමේ කිසියම් පිරිසක් නිතරව සිටින බව මෙවැනි දේවල්වලින් පැහැදිලිය. චන්දිමාල් යනු කාගෙවත් කෙනෙකු නොව ඔහු ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව සතු සම්පතකි. චන්දිමාල්ට අවස්ථාව අහිමි වුවද ළහිරු තිරිමාන්නට අවස්ථාව ලැබීම තවදුරටත් කැපී පෙනෙන සිද්ධියක් බවට පත්වූ අතර තිරිමාන්න පළමු ඉනිමේදී ලකුණු 10 කට දැවී ගියේය. එංගලන්තයේදී පැවැති ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී ඉන්දියාවට එරෙහිව තිරිමාන්න රැස්කළ ලකුණු 53 ඔහුට වසර කීපයක් කණ්ඩායමේ රැඳී සිටීමට ප‍්‍රමාණවත් වේ යැයි පළකළ ඉඟිය මේ වනවිට යතාර්ථයක් බවට පත්වෙමින් තිබේ.

අසන්ත ද මෙල්ගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුවට පත්වූ දිනයේ සිට තිරිමාන්න භීතිකාවෙන් පෙලුණේය. එය අඛණ්ඩව ඉදිරියට යන තත්ත්වයක් මේ වනවිට උද්ගත වී තිබේ. චන්දිමාල්ට නැවතත් සංචිතයේ හෝ ස්ථානය හිමිවීම ශ්‍රී ලංකා ක‍්‍රිකට් අනාගතයට සුබ පෙරනිමිත්තකි. චන්දිමාල් පිළිබඳව ජනමාධ්‍ය ඇතුළු බොහෝ දෙනකු හඬ නැගීම ඔහු සංචිතයට හෝ කැඳවීමට හේතුව බවට පත්විය.

අසන්ත ද මෙල් ප‍්‍රමුඛ හිටපු තේරීම් කමිටුව ඉවත්කර දැමූ අකිල ධනංජය ටෙස්ට් පන්දු යවන්නකු ලෙසද ලැබුණු පළමු අවස්ථාවේදීම හිස ඔසවමින් කඩුලු පහක් දවා ගැනීමෙන් නවසීලන්ත පළමු ඉනිම ලකුණු 249 කට සීමාවිය. තරගයේ දෙවැනි දිනය වූ පසුගිය බ‍්‍රහස්පතින්දා දිනයේ ක‍්‍රීඩාව අවසන් කරන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු හතක් දැවී ලකුණු 227 ක් රැස්කරමින් ලකුණු 22 ක් පසු පසින් සිටියේය.

ශ්‍රී ලංකා පිල එක් අවස්ථාවක කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 143 ක් රැස්කර සිටියද කුසල් පෙරේරා සහ ධනංජය ද සිල්වා අසාර්ථ වීමෙන් ඉනිම කඩා වැටුණි. නිරෝෂන් දික්වැල්ල සහ සුරංග ලක්මාල් අටවැනි කඩුල්ලට පළමු දිනය අවසන් වනවිට ගොඩනඟා තිබූ ලකුණු 66 ක සම්බන්ධතාව නොවන්නට තරගයේ වාසිය නවසීලන්තයට පැත්තට යොමුවන්නට ඉඩ තිබුණි.  

 භාසුර