2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

අත දිගහැර කෝටි ගණන් වියදම් කරන නේපාල ක්‍රීඩා වන්දනාව

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 76

නේපාලයේදී ලබන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත 13 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 3000 කට අධික අති දැවැන්ත මුදලක් කාබාසිනියා කිරීමට ක‍්‍රීඩා අමාත්‍යංශය සූදානම් වන බව එම අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක සඳහන් වේ. මෙවැනි ක‍්‍රීඩා උළෙල සඳහා මෙගා කණ්ඩායම් සහභාගි කරවමින් මුදල් නාස්ති කරන පළමු අවස්ථාව මෙය නොවන අතර මෙවැනි වන්දනා ගමන් සඳහා මුදල් වැයකළ අවස්ථා සඳහා ඕනෑතරම් උදාහරණ සැපයිය හැකිය. 

කාලයෙන් කාලයට බලයට එන ක‍්‍රීඩා ඇමතිවරුන් සහ ක‍්‍රීඩා බලධාරීන් එළඹෙන තීරණ අනුව මහජනතාවගේ බදු මුදල් සීමිත පිරිසකගේ විනෝද චාරිකාවක් වෙනුවෙන් වැය කිරීම වඩාත් කණගාටුදායකය.

ඇතැම් ක‍්‍රීඩා ඇමැතිවරු ඇමැති පුටුවේ ඉඳගත් පළමු දිනයේ පවසන්නේ පදක්කම් දිනාගත හැකි ක‍්‍රීඩාවලට පමණක් තම පාලන කාලයේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහභාගි කරන බවයි. ඇමති ධූරයේ මාස කිහිපයක් කටයුතු කරන විට පළමු දිනයේදී කළ ප‍්‍රකාශය ඇමැතිවරයාගේ මතකයේ නැත. එය ශ්‍රී ලංකා ක‍්‍රීඩාවේ සහ ජනතාවගේ අවාසනාවක් මිස අන් කිසිවක් නොවේ. 

ශ්‍රී ලංකා ක‍්‍රීඩා ඉතිහාසයේ දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලකට සහභාගි වන විශාලතම කණ්ඩායම මෙවර සහභාගි කරවීමට නියමිත අතර එම දැවැන්ත කණ්ඩායමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පමණක් 605 ක් දක්වා විය හැකිය. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අමතරව නිලධාරීන් 200 කට අධික පිරිසක් ද සහභාගි කරවීමට සැලසුම් කර තිබේ. 

නේපාලයේදී ලබන දෙසැම්බර් මස 1 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ සහභාගිත්වය සඳහා පමණක් ක‍්‍රීඩා අමාත්‍යංශය ඇස්තමේන්තු කර ඇති වියදම රුපියල් 312,675,000 ක් හෙවත් රුපියල් කෝටි 31 කි. මෙහිදී පුද්ගලයන් 800 කට දින 18 ක් නවාතැන් ගැනීම සඳහා හෝටල් කාමර වෙනුවෙන් රුපියල් 129,600,000 හෙවත් රුපියල් කෝටි 13 කට ආසන්න මුදලක් වෙන්කර තිබේ.

පුද්ගලයන් 800 කට ගුවන් ප‍්‍රවේශපත් සඳහා රුපියල් 100,000,000 හෙවත් කෝටි 10 ක මුදලක් වෙන්කර තිබේ. මෙහිදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ සහ නිලධාරීන්ගේ ඇඳුම් සඳහා රැපියල් කෝටි තුනකට අධික මුදලක් ඇස්තමේන්තු කර තිබේ. මෙම ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් ක‍්‍රීඩා 21 ක සංචිත මේ වන විට පුහුණුවීම්වල නිරතව සිටියි. එම පුහුණු සංචිත වෙනුවෙන් රුපියල් 16,773,000 අධික මුදලක් වැයකිරීමට මේ වනවිට ඇස්තමේන්තු කර ඇති අතර දැනටමත් ඉන් රුපියල් ලක්‍ෂ 140ක පමණ මුදලක් වෙන්කර තිබේ. 

මෙම තත්ත්වය අනුව දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 3500ක් හෙවත් රුපියල් කෝටි 35 කට අධික මුදලක් වැය කිරීමට සිදුවනු ඇති බවට ඇස්තමේන්තු කළ හැකිය. මෙම ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් ක‍්‍රියාත්මක පුහුණු සංචිත 21 කට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 1039 ක් ඇතුළත්ව සිටිති. ඒ අතරින් මලල ක‍්‍රීඩා සංචිතයේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 93ක් පුහුණුවීම් ලබති. පාපන්දු සංචිතයේ 65 දෙනෙක් පුහුණුවේ නිරතව සිටිති. 

දකුණු අසියානු ක‍්‍රීඩා උළෙල යනු ශ්‍රී ලංකාව සහභාගි වන තරගකාරිත්වයෙන් අඩුම ක‍්‍රීඩා උළෙල වන අතර ඒ හේතුවෙන් මෙවැනි දැවැන්ත මුදලක් වැය කිරීම ප‍්‍රයෝජනවත්ද යන්න පිළිබඳව එකවරක් නොව කිහිප වරක්ම සිතා බැලිය යුතුය. 

මහජන මුදල් මෙවැනි දැවැන්ත ප‍්‍රමාණයක් එකවර වියදම් කිරීමට රාජ්‍ය නිලධාරීන්, දේශපාලඥයන් සහ දේශපාලනඥයන්ගේ සමීපතමයන් වැඩි කැමැත්තක් දක්වන්නේ කුමකටද යන්න අමුතුවෙන් කිවයුතු නැත. මෙම මුදල් සම්පූර්ණයෙන්ම ක‍්‍රීඩාවේ උන්නතියට වැය නොවන බවට ඉතිහාසය සාක්‍ෂි දරයි. තවද මෙවැනි ක‍්‍රීඩා උළෙලවල මෙගා කණ්ඩායම්වලට දේශපාලනඥයන්ගේ හිතවතුන්, ක‍්‍රීඩා අමාත්‍යංශයේ ඇතැමුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල පිරිස් සහ ජාතික ඔලිම්පික් කමිටුවේ ඇතැමුන්ද එකතු වන බව ප‍්‍රසිද්ධ රහසකි. 

ඇතැම් ක‍්‍රීඩා උළෙලවලට ජාතික ඔලිම්පික් කමිටුවේ ලොක්කන්ගේ රියැදුරන් පවා සහභාගි වූ බවට මීට පෙර චෝදනා එල්ල විය. ක‍්‍රීඩා කිරීමට නොව ජීවත්වීමට හෝ නොහැකිව ලතවන එසේත් නැත්නම් ජීවත්වීමට නොහැකිව පවුල්පිටින් දුක්විඳින වර්තමාන ශ්‍රී ලංකාවේ මුදල් වියදම් කිරීමට පෙර බලධාරීන් මීට වඩා සැළකිළිමත් විය යුතුය.   

 යොහාන් භාසුර